ගන්දර ධීවර වරායේ සංවර්ධන කටයුතු අවසන් කර දෙසැම්බර් මස ජනතා අයිතියට පත් කිරීමට සැලසුම්

ගන්දර ධීවර වරායේ  සංවර්ධන කටයුතු අවසන් කර දෙසැම්බර් මස ජනතා අයිතියට පත් කිරීමට සැලසුම්
  • SocialShare:

රුපියල් මිලියන 13,400 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන ගන්දර ධීවර වරායේ ස‍ංවර්ධන කටයුතු 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට මුළුමනින්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.

මේ බව අනාවණය කෙරුණේ පසුගියදා (29) ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ගන්දර ධීවර වරාය පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ය.

මෙහිදී ධීවර වරාය ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සෘජුවම කරුණු සොයා බැලිණි. වරාය පරිශ්‍රයේ දී ප්‍රදේශයේ ග්‍රාමීය ධීවර සංවිධාන නියෝජිතයන් සමඟ ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ධීවර ප්‍රජාව ඉදිරිපත් කළ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

අනතුරුව දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී විශේෂ රැස්වීමක් පැවති අතර එහි දී ගන්දර ධීවර වරායට අතිරේක දිය කඩනයක් (Breakwater) ඉදිකිරීමට අදාළව NHI ආයතනය සකස් කර තිබූ නව සැලසුම ධීවර ප්‍රජාව වෙත ඉදිරිපත් කෙරිණි. එම සැලසුම පිළිබඳව ධීවරයින් සහ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් පසු ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබා ගැනීම සිදු කරන ලදි.

මේ අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු, ලංකා රාමනායක මහතා, සංවර්ධන අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් රණවීර මහතා, මාතර දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිතුමන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.