ෂැංහයි සහයෝගීතා සංවිධානයේ මහලේකම් (Shanghai Cooperation Organization - SCO) නුලර්න් යමෙර්ක්බායෙම් (Nurlan Yermekbayer)මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වූ මෙම සාකච්ඡාවට SCO සංවිධානයේ තවත් නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ. 2001 වසරේදී ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සංවිධානයට සාමාජික රටවල් 10ක් අයත් වේ. ශ්‍රී ලංකාව එහි සංවාද හවුල්කරුවකු ලෙස සම්බන්ධ වී සිටී. එය ජාත්‍යන්තර, දේශපාලන, ආර්ථික සහ ආරක්‍ෂක සංවිධානයක් ලෙස කටයුතු කරයි. එමෙන්ම භූගෝලීය විෂය පථය හා ජනගහණය අනුව ලොව විශාලතම කලාපීය සංවිධානය වේ.
SCO සංවිධානය ආරම්භයේදී ප්‍රධාන වශයෙන් දේශ සීමා සහ ආරක්‍ෂක ගැටළු වලට ප්‍රමුඛතාවය ලබා දුන් අතර, මේ වන විට වෙළඳ, ආර්ථික, ප්‍රවාහන ආයෝජන ක්ෂේත්‍ර සඳහා සම්බන්ධ වී සිටී.
මෙම සාකච්ඡාවේදී රජයේ විශ්වාසනීයත්වය, ජනතා සුභසාධනය සහ විනිවිදභාවය ගැන සිය සතුට පල කරමින්, මහලේකම්වරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය පිරිනැමීමට සලකා බලන බව ප්‍රකාශ කළේය. එමෙන්ම රජය ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති වලට ආයෝජන ක්ෂේත්‍රය හරහා උපකාරී වීමට ද කැමැත්ත පළ කර සිටියේය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ මීළඟ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට ද ආරාධනා කරන බව ද මහලේකම් නුලර්න් මහතා පවසා සිටියේය. විෂයභාර අමාත්‍යවරයා ලෙස වරාය ක්ෂේත්‍රයේ සිදු කරන සේවය ගැන ප්‍රසාදය පළ කර සිටි මහලේකම්වරයා SCO සංවිධානයේ මීළඟ වරාය සහ ලොජිසිටික් ප්‍රධානීන්ගේ රැස්වීමට අමාත්‍යවරයාට ආරාධනා කිරීමට කැමැත්ත පළ කර සිටියේය.
එහිදී අමාත්‍යවරයා මහලේකම්වරයාට ස්තූති පුද කරමින් වරාය අධිකාරියේ ප්‍රධානීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ඊට සහභාගි කරවන බව ප්‍රකාශ කර සිටියේය. රජය වරායවල ධාරිතාව වැඩිකිරීමට කටයුතු කරමින් සිටින අතර, එම ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්‍ෂණික ප්‍රවාහන සහාය ලබා දෙන ලෙස හා ආයෝජකයින් උනන්දු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
SCO සංවිධානය තුළ සංවර්ධන බැංකුවක් පිහිටුවීමට යෝජනා වී ඇති නිසා අමාත්‍යවරයා ඒ ගැනද තොරතුරු විමසා සිටියේය. සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන උන්නදුව ගැන අදහස් දැක්වූ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන චීනයට කැඳවා ඔවුන් SCO සාමාජික රටවලට රැගෙන ගොස් සංචාරක ප්‍රවර්ධන කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.


