බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වනවා - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති

බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වනවා - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති
  • SocialShare:

මෙවර 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව විෂය පථයන් 13ක් යටතේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස පවත්වන බව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර මහතා සදහන් කරයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙවර 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2026 අගෝස්තු 20 සහ 21 දෙදින කොතලාවල විශ්ව විද්‍යාලය විසින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද ලොව සියලු රටවල් වර්තමානයේදී විවිධාකාර ගැටලු වලට මැදිහත් වන බවද ඒවා දේශගැණික කාලගුණික, පාරිසරික, ආර්ථික වැනි විවිධ හේතූන් මත ඇතිවිය හැකි බවද පැවසුවාය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය අනෙකුත් විශ්ව විද්‍යාලවලින් වෙනස් වන ප්‍රධාන කරුණක් වශයෙන් කොතලාවල විශ්ව විද්‍යාලයේ එක පීඨයක් ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනයන් සදහා වෙන් කර ඇති බවද පෙන්වා දුන්නේය.

එම පීඨයෙන් ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට විශේෂ දායකත්වයක් ලබාදෙන බවද එම විද්‍යාර්ථයින් සහ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය එකතුවී මෙම ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වන බවද පැවසුවේය.

ඊට අමතරව අනෙකුත් පීඨ 11 ද දෙපාර්තමේන්තුද එක්ව මෙම සමුළුවට ඔවුන්ගේ දායකත්වය ලබාදෙන බවද සදහන් කළේය.

ලොව සිටින පර්යේෂකයන්ට උසස් ගණයේ පර්යේෂණ මෙම සමුළුව හරහා ඉදිරිපත් කිරීමටත් නව අදහස් සහ ජනතාව මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්නවලට අලුතෙන් සිතා ඒ සදහා අවශ්‍ය කරන නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කොතලාවල විශ්ව විද්‍යාලය මේ ඔස්සේ කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය.