යටත්විජිත සමයේ ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලබාගැනීම සඳහා , සාක්ෂි මත පදනම් වූ රාජතාන්ත්‍රික ප්‍රවේශයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
අද(17) කොළඹ පැවති “Whose Law?” පර්යේෂණ සම්මන්ත්‍රණය අමතමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
නීතිය, ඉතිහාසය, සංස්කෘතිය සහ ජාත්‍යන්තර සහයෝගිතාව එකට ගෙන එන මෙම සම්මන්ත්‍රණය, සංස්කෘතික වස්තූන් ජාතීන්ගේ ජීවමාන උරුමයක් ලෙස සලකා බලමින්, ශ්‍රී ලංකාවේ උරුම ආරක්ෂාව හා ප්‍රතිස්ථාපන උත්සාහයන් ශක්තිමත් කිරීමේ වැදගත් වේදිකාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සම්මන්ත්‍රණය තුළ නීති විශේෂඥයන්, ඉතිහාසවේදීන්, කෞතුකාගාර නියෝජිතයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව සංස්කෘතික උරුමයන් පිළිබඳ නීතිමය හා ඓතිහාසික කරුණු විමර්ශනය කළහ.
ශ්‍රී ලංකාවේ උරුමයන් කෞතුකාගාර වස්තූන් පමණක් නොව ජාතියේ අනන්‍යතාව සහ ඓතිහාසික මතකය බවත්, ඒවා සුරැකීම සඳහා පර්යේෂණ, නීතිමය පැහැදිලිකම සහ ජාත්‍යන්තර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.


