වාරි මහිම - අපේ උරුමය ජාතික වැඩසටහන සැලසුම් කෙරේ

වාරි මහිම - අපේ උරුමය ජාතික වැඩසටහන සැලසුම් කෙරේ
  • SocialShare:

කුඩා ග්‍රාමීය ව්‍යාපෘති, එල්ලංගා පද්ධති සහ ගම්මාන කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික ඒකකවල කෘෂිකාර්මික සශ්‍රීකත්වය සහ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් වාරි මහිම - අපේ උරුමය යන නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ සදහා 2026 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන වෙන්වී ඇත. යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ශ්‍රී ලංකාවේ කුඩා වාරි ව්‍යාපෘති සහ එල්ලංගා පද්ධති යනු ඓතිහාසිකව විකාශනය වූ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජල කළමනාකරණ පද්ධති වන අතර ඒවා ග්‍රාමීය කෘෂි කර්මාන්තය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තිරසර ලෙස පවත්වා ගැනීමට දායක වී ඇත.

එහෙත් රොන්මඩ තැන්පත් වීම, ව්‍යූහාත්මක දුර්වලතා, වාරිමාර්ග කාර්යක්ෂමතාව අඩු වීම, එල්ලංගා පද්ධති ආශ්‍රිත සංරක්ෂිත කලාපවල අනවසර පදිංචි වීම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් එම පද්ධති විශේෂ අවධානයට ලක් කළ යුතු තත්ත්වයට පත්ව ඇත.