ගොවි ගැටලුවලට පිළියම් ලබාදීමට ගොවිජන සභාව ඇරඹෙයි

ගොවි ගැටලුවලට පිළියම් ලබාදීමට ගොවිජන සභාව ඇරඹෙයි
  • SocialShare:

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහසකට අනුව “ගොවිජන සභාව” නමින් වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර මෙහි අරමුණ වන්නේ ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කොට විසඳුම් ලබාදීමයි.

විශේෂයෙන්ම මෙහි තේමාව වන්නේ ‘ගොවිජන බලය සමඟ පෙරට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස යන්නයි’.

වත්මන් ආණ්ඩුව බලය ලබාගෙන වසර එකහමාරක කාලය තුළ ගොවිජනතාව වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ගොවිජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙන ආකාරය විමසා බැලීමක් ද මෙහිදී සිදුවෙයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලික කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් මූලික අදියර යටතේ ගොවිජන සභා දහසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔබේ ප්‍රදේශයටත් ගොවිජන සභාව අවශ්‍ය නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කොට මෙම අවස්තාව ලබා ගැනීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙහි ආරම්භයක් වශයෙන් මිනිපේ වම් ඉවුර ගොවි පදනම සංවිධානය කළ ගොවිජන සභාවට මෙන්ම මොරගහකන්ද ඒකාබද්ද ගොවි පදනම සංවිධානය කළ ගොවිජන සභාවට කේ.ඩී. ලාල්කාන්ත මහතා සහභාගී විය. මෙහිදී ගොවි ගැටළු සඳහා විසඳුම් ලබාදීම සහ අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීම සිදුවිය.