ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම හමුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, දෙරට අතර වෙළඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය සහ වර්ධනය වන ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳව සභාපතිවරයා අවධාරණය කළේය.

2005 වසරේදී අත්සන් කරන ලද ශ්‍රී ලංකා – පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද ඔහු පැවසීය.

මෙහිදී දෙපාර්ශවය පුද්ගලික අංශයේ සහයෝගීතාව ඉහළ නැංවීම, වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම සහ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් රාමුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මඟින් ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරුණි.

මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සහ දිගුකාලීන ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය තහවුරු විය.

මෙම අවස්ථාවට මුහම්මද් රසා මහතා ඇතුළු කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) වැඩබලන මහලේකම් සහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලාන් එම්. විජේසූරිය මහතා මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූහ.