විදේශීය රාජ්‍ය නායකයින්ගේ සංචාරයන් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව අදියරකට

විදේශීය රාජ්‍ය නායකයින්ගේ සංචාරයන් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව අදියරකට
  • SocialShare:

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, විදේශීය රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති.

ඒ අනුව, මාලදිවයින් ගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසූ මැතිතුමා සහ රුසියානු සමූහාණ්ඩුවේ ගරු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මැතිතුමා දිවයිනට පැමිණ සිටින අතර, වියට්නාම ගරු ජනාධිපති ටෝ ලාම් මැතිතුමා ද නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.

  • මාලදිවයින් ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරය

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ආරාධනයකට අනුව, මාලදිවයින් ගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමා 2026 මැයි 03 වන දින දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයේ ප්‍රධාන වැඩසටහන් ලෙස, අද (04) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පිළිගැනීමේ උත්සවය පැවැත්විණි. අනතුරුව ගරු ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.

එමෙන්ම, කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකටද එතුමා සහභාගී වීමට නියමිතය.

  • රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිල සංචාරය

රුසියානු සමූහාණ්ඩුවේ ගරු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මැතිතුමා ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස 2026 මැයි 03 වන දින දිවයිනට පැමිණියේය.

අද (04) දින, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සහ ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මැතිතුමා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එමෙන්ම, අද 04 වන දින කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත නිරීක්ෂණ චාරිකාවන්හි නිරත වෙමින්, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ විශේෂඥ පුහුණුව ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.

අදාළ නියෝජිත පිරිස 2026 මැයි 05 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

  • වියට්නාම ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු දේශනය

වියට්නාම සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ටෝ ලාම් මහතා 2026 මැයි 08 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

එදින පෙරවරු 11:05ට පමණ පාර්ලිමේන්තුවට පැමිණෙන එතුමා, විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත අතර, මෙම වැඩසටහන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය යටතේ සංවිධානය කර ඇත.

මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන් මගින් ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.