ග්‍රාමීය සංවර්ධණ ,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ (ESCAP) සංවිධානයේ විධායක ලේකම් Mrs Armida Salsiah Alisjahbana අතර හමුවක් පසුගියදා පැවැත්විණි.
මෙම හමුව තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැති ESCAP සංවිධානයේ 82 වැනි සැසිවාරය අතරතුර සිදු විය.
එහිදී ශ්‍රී ලංකාව වර්තමානයේ අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගති පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන ලදී. විශේෂයෙන් උද්ධමනය පාලනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය සංචිත ඉහළ යාම සහ විවිධ අභියෝග මධ්‍යයේ ආර්ථික ස්ථාවරතාව පවත්වාගෙන යාම පිළිබඳ කරුණු මෙහිදී අවධානයට ලක් විය.
දිළිඳුකම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන, සමාජ ආරක්ෂණ සහ සවිබලගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව ද නියෝජ්‍ය මහලේකම්වරියගේ අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජනගහනයේ ව්‍යුහාත්මක වෙනස්වීම්, විශේෂයෙන් වැඩිහිටි ජනගහනය වැඩිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ප්‍රතිචාර වශයෙන් රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩසටහන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලදී.
ප්‍රජා පදනම් සත්කාර පද්ධති ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ රාමුව පුළුල් කිරීම, “Smart Villages” වැඩසටහන් මඟින් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම සහ දිගුකාලීන සත්කාර සඳහා ඒකාබද්ධ ප්‍රවේශ සංවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ජනගහන වෙනස්වීම් හමුවේ තිරසාරභාවය සහ ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීම සඳහා ජනතා කේන්ද්‍රීය සහ අන්තර්කරණීය ප්‍රතිපත්තිවල වැදගත්කම පිළිබඳව ද අදහස් හුවමාරු විය.
මෙම සමාන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා ESCAP සමඟ අඛණ්ඩ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය.
ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව සහ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරියගේ ප්‍රශංසාව පළ විය. එමෙන්ම, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය ලබාදීමට තම සංවිධානය සූදානම් බවද ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය විජයන්ති එදිරිසිංහ මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


