වසර දෙකකට පසු ජාතික තරුණ සේවා සභාවේ එරමිණියාය සෞන්දර්‍ය නිකේතනය ඊයේ (22) නැවත ආරම්භ කළේය.
ඒ අනුව සංගීත සහ නර්තන සම්බන්ධව ලලිත කලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණි. සෞන්දර්‍ය නිකේතනය නැවත ආරම්භ කිරීමෙන් පසු බඳවා ගන්නා පළමු කණ්ඩායමට සිසුන් 70 දෙනෙකුට ආසන්න පිරිසක් බඳවා ගෙන තිබේ.
එමෙන්ම මෙම පාඨමාලාව සමඟ ඉංග්‍රීසී භාෂාව, තොරතුරු තාක්ෂණය වැනි විෂය අවබෝධය ද ලබාදීමට නියමිතය.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, දකුණු පළාත් අධ්‍යක්ෂ සරත් කොඩිකාර මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී විය.
දෙවසරක ලලිත කලා ඩිප්ලෝමාව ලෙස ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාව මෙවර වසර තුනක ලලිත කලා උසස් ඩිප්ලෝමාව ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය. එහි දී NVQ වෘත්තීය නිපුණතා මට්ටම් 5 සහ 6 වගේම අවසන් වසරේ දී වෘත්තීය ශිල්පියෙක් නිර්මාණය කිරීම සිදු කෙරෙන බව ද සභාපතිවරයා පැවසුවේය.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ, මේ රට වෙනස් කිරීමට නායකත්වය දුන් තරුණ තරුණියන්ට අනාගත නායකත්වය හිමිවන රටක් නිර්මාණය කළ යුතු බවයි. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ඉදිරිපත් කළේ ඒ වෙනුවෙන් බව ද ඔහු සඳහන් කළේය.
ඕනම වෘත්තිකයෙකු තුළ සහකම්පනය සහිත, මානව දයාවෙන් යුතු පුරවැසියෙක් සිටිය යුතු බවත්, ඒ අතර සෞන්දර්‍ය තම වෘත්තීය කරගත් අය වාසනාවන්ත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
හොඳ හඬ පෞර්ෂයන් නිර්මාණය කරනවා සේම හොඳ පර්‍යේෂකයන් නිර්මාණය විය යුතු බවත්, මේ වසර තුන තුළ සංගීත, නර්තන ක්ෂේත්‍රවල පර්‍යේෂකයන් නිර්මාණය කිරීමේ ඉලක්කයක් තබා ගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.


