ලෝක සාම පාගමන (Walk for Peace ) පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් අද (22) දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි.
සෑම විටම සිහිය පිහිටුවා ගෙන කටයුතු කිරීමෙන් තමා තුළ සාමය ගොඩනැගෙන බව සාම පා ගමන ආරම්භ කරමින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ කෙටි අනුශාසනාවක් සිදු කළහ.
මෙම පාගමන අද පස්වරුවේ මාතලේ නගරයට ළඟාවීමට නියමිත අතර හෙට (23) දිනයේ මහනුවර දළදා මාළිගාවට ළඟාවීමට නියමිත වේ.
දළදා මාළිගාව පරිශ්‍රයෙන් 24 වැනි දින ගමන් ආරම්භ කෙරෙන පාගමන එදින සවස බෙලිගම්මන රාජමහා විහාරස්ථානයට ළඟා වන අතර 25 වැනි දින නැවත තෝලංගමුවට පැමිණේ.
තෝලංගමුව සිට යක්කල දක්වා 26 වැනි දින නැවත පාගමන ආරම්භ කෙරෙන අතර 27 වැනි දින යක්කලින් ගමන් ආරම්භ කර එදින සවස කැලණිය රජමහා විහාරස්ථානයට ළඟා වේ.
එසේම කැලණිය රජමහා විහාරස්ථානයෙන් 28 වැනි දින ගමන් ආරම්භ කෙරෙන පාගමන එදින සවස කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වන අතර ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.
එහිදී පා ගමනින් වැඩම කරවූ ජය ශ්‍රී මහ බෝධි අංකුරය නිල වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ලබා දීම සිදු කෙරේ.
මෙම ස්වාමීන්වහන්සේලා මැයි මස 01 වැනිදා දක්වා මෙරට වැඩ සිටින අතර ශ්‍රී ලංකාවේ දූත පිරිසක් සමග එදින නැවත ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට නියමිත වේ.


