අම්පාරේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන්හි වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලේ

අම්පාරේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන්හි වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලේ
  • SocialShare:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  පසුගියදා නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝගී ප්‍රතිකාර සේවාවන් ඇතුලු වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබදව සොයා බැලීමට කටයුතු කරන ලදි.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අම්පාර දිස්ත්‍රික් මහ රෝහල, මහඔය මූලික රෝහල, දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල, පොතුවිල් මූලික රෝහල සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යන රෝහල් සහ සෞඛ්‍ය ආයතන විශේෂ නිරීක්ෂණයට ලක් කරන ලදී.

මෙරට  රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම මුලික අරමුණකර ගනිමින් මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනයවන රෝහල් පද්ධතියේ අඩුපාඩු සොයා බලා පවතින ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් ග්‍රාමීය ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම විධිමත් සුව සත්කාර සේවාවක් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා  ඇත.

එම රෝහල්හි බාහිර රෝගී අංශ, සායන පරිශ්‍ර, වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩා, රුධිර කාන්දුකරණ ඒ්කක, රසායනාගාර, ලේ බැංකු, සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති මෙන්ම වෛද්‍ය නිල නිවාස ඇතුළු සෞඛ්‍ය කාර්ය  මණ්ඩල නිල නිවාස සහ නේවාසිකාගාර ඇතුළු අංශ  ඒ මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.

ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට මෙන්ම දේශීය, විදේශීය සංචාරකයින් බහුලව මෙම ප්‍රදේශයන්හි  සංචාරය කරන හෙයින් පවතින ගැටලු පිළිබදව අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත්කර කඩිනමින් විසදුම් ලබා දීමට තමන් අපේක්ෂා කරන බවත්, එමගින් ඉදිරියේ දී  මෙම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ  ප්‍රවර්ධනයටද එය හේතුවක් වනු ඇතැයි ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.

විවිධ දුෂ්කරතා මධ්‍යයේවුවද තම සේවාව නිසි අයුරින්, කාර්යක්ශමව ග්‍රාමීය ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීම පිළිබදව  එම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කෘතඥතාවය ද ඒ මහතා පලකර සිටියේය. 

මෙම අවස්ථාවන් සදහා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිස්සංක විජේවර්ධන, අම්පාර දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.පී.ආර්.එස්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පී. කර්තිකෙයාන්,  අම්පාර නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් රිෆාස්, මහඔය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය චමිල් විජේකෝන්, දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සම්පත් කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම අවස්ථාවන් සදහා එක්ව සිටියහ.