ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට ශ්‍රී ලංකාව දක්වා ක්‍රියාත්මක වන “සාම පාගමන” මෙහෙයවන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අද (21) උදෑසන අත්තනගල්ල රජමහා විහාරය වෙත වැඩම කළහ.
එහිදී උන්වහන්සේලා, එම විහාරයේ විහාරාධිපති වන පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආගමික වතාවත්වල නිරත වූහ.
‘Walk for Peace Program in Sri Lanka’ යටතේ මෙම සාම පාගමන හෙට (22) සිට අප්‍රේල් 28 දක්වා දින හතක් පුරා පැවැත්වීමට නියමිත අතර, අද (21) පස්වරුවේ ජය ශ්‍රී මහා බෝධිය අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එය ආරම්භ කෙරේ. එමෙන්ම, අටමස්ථානාධිපති හිමියන්ගේ ආශීර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද පාගමන සමඟ වැඩම කරවීමට නියමිතය.
ඊට අමතරව, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීමට කටයුතු කෙරේ.
හෙට (22) උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, යක්කල, මහර සහ කැලණිය හරහා ගමන් කරමින් අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින්, එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින්, ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට ද සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සහ ප්‍රදේශවාසී සැදැහැවතුන් පිරිසක් ද එක්ව සිටියහ.


