නවීකරණය කළ කොළඹ කොටුව බස් නැවතුම්පොළ අද විවෘත කෙරේ

නවීකරණය කළ කොළඹ කොටුව බස් නැවතුම්පොළ අද විවෘත කෙරේ
  • SocialShare:

නවීකරණය කරන ලද කොළඹ කොටුව බස් නැවතුම්පොළ අද (08) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නවීකරණ කටයුතු ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රම දායකත්වය ලබාදී තිබේ.

පළමු අදියර යටතේ පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සහ බස් රථ සඳහා බාහිර පේළිගත කිරීමේ ප්‍රදේශයක් සකස් කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදුකර ඇත. නවීකරණය සම්පූර්ණ වූ පසු බිම් මහල බස් නැවතුම් අංගණයක් ලෙසත්, දෙවන මහල රියදුරු හා කොන්දොස්තර විවේකාගාර ලෙසත්, තෙවන මහල පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරන මධ්‍යස්ථානයක් ලෙසත් ලබාදීමට නියමිතය.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට(09) සිට මෙම බස් නැවතුම්පොළෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ යොදවා ඇත. මෙම සේවාව යටතේ හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත සහ පුත්තලම ඇතුළු ගමනාන්ත රැසකට බස් ධාවනය කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.