විද්‍යාව පදනම් කරගෙන කටයුතු කිරීමෙන් රටේ ආයතන සහ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය ශක්තිමත් කළ හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. විශේෂයෙන්ම ජනතාවට සපයන සෞඛ්‍ය තොරතුරු පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම සඳහා සියලු පාර්ශව කැපවිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දිගුකාලීන ආයෝජනයක් සිදු කිරීමත්, පර්යේෂණ හා නවෝත්පාදන සඳහා අඛණ්ඩ සහාය ලබාදීමත් අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය. එසේම විද්‍යාව මත පදනම්ව ලබාගන්නා ජයග්‍රහණ විශේෂයෙන්ම අව වරප්‍රසාදිත ජනතාව වෙත සමීප කරවීම රජයේ අභිලාෂය බව ද ඔහු පැවසීය.
“ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ දත්ත මත පදනම්ව සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති රටකි. මාතෘ හා ළදරු සෞඛ්‍යය, රෝග නිවාරණය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වර්ධනය කිරීමේදී අප ලබා ඇති ජයග්‍රහණවල පදනම විද්‍යාව, සාධාරණත්වය සහ මහජන විශ්වාසය මත ගොඩනැගුණු මහජන සෞඛ්‍ය සේවාවයි. අනාගතයේ අප මුහුණ දීමට නියමිත සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීමට නම් විද්‍යාත්මක ජයග්‍රහණ නිවැරදි වේලාවට කාර්යක්ෂම ක්‍රියාමාර්ග බවට පත් කළ යුතුයි,” යැයි ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ (WHO SEARO) දී පැවති 2026 ලෝක සෞඛ්‍ය දිනය නිල සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. එහිදී ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ වත්මන් සභාපතිවරයා ලෙස ද සහභාගී විය.
ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සංවිධානය කළ මෙම උළෙල මෙවර පැවැත්වුණේ “Together for Health: Stand with Science” යන තේමාව යටතේය.
2025 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයීසස් මහතා විසින් විවෘත කරන ලද නව දිල්ලියේ WHO SEARO නව මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ පැවැත්වුණු ප්‍රථම ලෝක සෞඛ්‍ය දින සැමරුම් උළෙල මෙය වීම විශේෂත්වයකි.
මෙහිදී දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් “Banyan Framework for Health and Well-Being 2026–2028” වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයාගේ 2025 වාර්තාව ද අමාත්‍යවරයා විසින් නිල වශයෙන් එළිදැක්වීය.
ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලය කලාපයේ ප්‍රධාන සෞඛ්‍ය ආයතනයක් වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ කොළඹදී පැවති WHO කලාපීය සමුළුවේදී එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි විය.
මෙම අවස්ථාවට ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් පුන්‍යා සලිලා ශ්‍රීවාස්තවා මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බෝම් මහත්මිය ඇතුළු කලාපීය සෞඛ්‍ය නියෝජිතයින් රැසක් සහභාගී වූහ.


