ජාතික පොසොන් උත්සවය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ජාතික පොසොන් උත්සවය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

අනුරාධපුර අටමස්ථානය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත් වෙන පොසොන් උත්සවය සාර්ථකව සංවිධානය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව උතුරු උතුරු මැද දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, තන්තිරිමලේ රජ මහා විහාරාධිපති අතිපූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමියන් සඳහන් කරයි.

මෙවර පොසොන් උත්සවය  සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා  තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී පැවැත් වුණු අතර එම සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූයේ, මෙම අවස්ථාවේ රටේ පවතින තත්ත්වය හමුවේ කුමන දුෂ්කරතා බාධක පැමිණියද සෑම නිලධාරියෙකුම රාජකාරියට එහා ගිය වගකීමක් ලෙස සලකා මෙම අවස්ථාවට ඉතා කැමැත්තෙන් දායක වනු ඇතැයිද පැවසුවේය.

2026. 06.26 සිට 2026.07.02 දක්වා වූ පොසොන් සතියෙහි දානය කටයුතු, ආලෝක පූජාව, මාධ්‍ය ආවරණය, ජලය විදුලිය හා සනීපාරක්ෂාව, සෞඛ්‍ය සේවා, ප්‍රවේශ මාර්ග පහසුකම්, සැරසිලි කටයුතු, ප්‍රවාහන පහසුකම්, රථ ගාල්, දන්සල් පහසුකම්, ජීවිත ආරක්ෂක කටයුතු, මත් ද්‍රව්‍ය නිවාරණ හා මස් කඩ වැසීම, ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

තව ද වන අලි තර්ජනය අවම කිරීමට, පොකුණු වල කිඹුලුන් ඉවත් කිරීමට කටයුතු කිරීම සහ කැලි කසල භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එහි දී අදහස් දක්වමි දිසාපතිවරයා පැවසූවේ, සිල් සමාදන් වන පිරිසට දානය ලබා දීම වැනි කාරණා වල දී, පසුගිය වතාවේ නෙළුම් කොළ භාවිතා කළ අතර එය සාර්ථක ක්‍රමවේදයක් බැවින්  දන්සල් සඳහා ද  එවැනි ක්‍රමයකට යාම සුදුසු බවද අවධාරණය කළේය.

මේ අවස්තථාවට මහා සංඝරත්නය අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා මහත්මිය, ප්‍රදේශීය සභාවේ සභාපති තුමන්, ඇතුළු සියළුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.