ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථම වරට විද්‍යුත් ගොනු මගින් නඩු මෙහෙයවීම අරඹයි

ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථම වරට විද්‍යුත් ගොනු මගින් නඩු මෙහෙයවීම අරඹයි
  • SocialShare:

ශ්‍රේෂ්ඨාධිකරණය , ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e filing පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහිත විනිසුරු මඩුල්ල හමුවේ පසුගියදා (26) සිදු කළ බව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය, විභාග දිනට පෙර දිනයෙදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03 ක වන්දි මුදල වගඋත්තරකරු ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩුව මෙලෙස filing පද්ධතිය ඔස්සේ සිදු කර තිබේ.
නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදි නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් විනිසුරු මඩුල්ල පරිශීලනය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හදුන්වා දෙන ලද e-filing යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කළ හැකි අතර එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වේ. තවද මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නිතිඥවරුන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව පුරා ඇති සියලු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය ඉදිරියේදි හඳුන්වා දීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.