සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කිරීමට රසදිය විශ්ලේෂක යන්ත්‍ර පාරිභෝගික අධිකාරියට

සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කිරීමට රසදිය විශ්ලේෂක යන්ත්‍ර පාරිභෝගික අධිකාරියට
  • SocialShare:

සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.

වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපන (Whitening Creams) ඇතුලු විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය (Mercury) ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා කර බැලීමට මෙම ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර මඟින් හැකියාව ඇත.

එම යන්ත්‍ර සංකේතාත්මකව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත භාරදීම ඊයේ (27) වෙළෙඳ අමාත්‍යංශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.

අධික ලෙස රසදිය අඩංගු ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර ආලේපන නිසා සිදුවන සෞඛ්‍ය අවදානමෙන් පාරිභෝගිකයා රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම රූපලාවණ්‍ය නිෂ්පාදනවල රසදිය ප්‍රමාණය පරීක්ෂා කිරීමට මෙම ජංගම යන්ත්‍ර යොදා ගැනීමට අපේක්ෂිතයි.

මෙම යන්ත්‍රයට විනාඩි 05 - 10 වැනි ඉතා කෙටි කාලයකින් ඉතා කුඩා රසදිය ප්‍රමාණයක් වුවද නිවැරදිව මැනීමට හැකියාව ඇත.

තම නිෂ්පාදනවල රසදිය මට්ටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලදැයි වෙළෙඳුන්ට එම අවස්ථාවේදී දීමට මෙමඟින් හැකියාව ලබෙන අතර ප්‍රමිතිගත නිෂ්පාදන සහිත වෙළෙඳපොළක් එමඟින් තහවුරු වනු ඇත.

මෙම යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර ඉදිරියේදී දිවයින පුරා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජනතාවගේ සෞඛ්‍යයට හානිකර මෙවැනි අහිතකර නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අඛණ්ඩව කටයුතු කරනු ලබයි.