මෙම වසරේ ගතවූ මාස තුනක කාලයේදී නාවික හමුදා මෙහෙයුම් මගින් රුපියල් බිලියන 25කට අධික වීථි වටිනාකමකින් යුතු විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එසේම මෙම කාලසීමාව තුළ බහුදින ධීවර යාත්‍රා 9ක් සමග සැකකරුවන් 49 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් එම පිරිස ඉදිරි නීතිමය විමර්ශන කටයුතු සඳහා භාරදුන් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය මූලික කර ගෙන නොගැඹුරු මුහුද මෙන්ම ගැඹුරු මුහුදු කලාපයේ විශේෂ සැලසුම් ක්‍රියාත්මක කරමින් ආවේක්ෂණ කටයුතු සිදු කරන බව පෙන්වා දුන් ඒ මහතා විෂ මත්ද්‍රව්‍ය මෙරටට ඇතුලු වන ප්‍රධාන මාර්ගවල සාර්ථකව වැටලීම් සිදු කරන අතර ඒ සඳහා පළපුරුදු නාවික හමුදා භට පිරිස් යොදා ගැනෙන බවද පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය විරෝධී දේශීය ආයතන මෙන්ම විදේශීය ආයතන සමග තොරතුරු හුවමාරු කර ගනිමින් ශ්‍රීලංකා පොලීසිය , විශේෂ කාර්ය බලකාය ඇතුලු සෙසු ආයතන සමග එක්ව මෙම වැටලීම් සිදු කෙරෙන අතර පැය 24 පුරා මෙම ආවේක්ෂණ කටයුතු සිදු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
ලැබෙන නිවැරදි තොරතුරු පාදක කර ගනිමින් දින කිහිපයක් පුරා සාගරයේ ගතකර දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉතා සංකීර්ණ සැලසුම් ඔස්සේ මෙම වැටලීම් සිදු කෙරෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
තවද මෙම විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ධීවර යාත්‍රා උපයෝගී කර ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා මෙම නීතිවිරෝධී කටයතු සඳහා දායක නොවන ලෙස හෙතෙම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.අත්අඩංගුවට පත් එම ධීවර ප්‍රජාව තමන් රැවටීමට ලක් කරමින් මෙම විෂමත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගත් බව පවසන ඒ මහතා මෙවැනි නීති විරෝධී ක්‍රියා සඳහා කිසිවිටක සහයෝගය ලබා නොදෙන ලෙසත් අවධාරණය කළේය.
එසේම විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ඉදිරියේදී තීව්‍ර මෙහෙයුම් සිදු කරන බව පැවසූ ඒ මහතා 105, 1818මෙන්ම 1997 යන කෙටි දුරකතන ඔස්සේ ඕනෑම වෙලාවක ජනතාවට මේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දිය හැකි බවත් විශ්වසනීයත්වය උපරිමයෙන් ආරක්ෂා කෙරෙන බැවින් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


