දිට්වා ව්‍යසනයෙන් හානියට පත් මාර්ග තිරසරව සංවර්ධනය කිරීමට බිලියන 180 ක්

දිට්වා ව්‍යසනයෙන් හානියට පත් මාර්ග තිරසරව සංවර්ධනය කිරීමට බිලියන 180 ක්
  • SocialShare:

දිට්වා ව්‍යසනයෙන් හානියට පත් මාර්ග තිරසරව සංවර්ධනය කිරීමට බිලියන 180 ක් වෙන්කර ඇති අතර එම ව්‍යාපෘතිය ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ ( 25) ගැරඬි ඇල්ලේ දී නිල වශයෙන් ඇරඹිණි.

මීට සමගාමීව ලංකාවේ ස්ථාන 40 ක දිට්වා හානි මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුද ඊයේ ආරම්භ විය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත යළි ගොඩනැගීමට රජය විසින් ආරම්භ කල "Rebuilding Sri Lanka" ජාතික වැඩසටහනට සමාන්තරව දිට්වාවෙන් හානියට පත් මහාමාර්ග පද්ධතිය පෙර පැවති තත්ත්වයට වඩා ආරක්ෂිතව හා ප්‍රමිතිගතව සංවර්ධනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් සකස් කර ඇත.

ඒ යටතේ මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ දුම්රිය පාලම් ඇතුළු මහජන තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධනයට ඒකාබද්ධ ආයතනික සම්බන්ධීකරණයක් සහිතව ජාතික වැඩපිළිවෙලක් සකස් කෙරිණ.

ඒ යටතේ පේරාදෙණිය - බදුල්ල හරහා දිවෙන චෙංකල්අඩි ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඩිඇල්ල කිලෝමීටර් 2.1 ක් වූ මාර්ග කොටස තිරසරව සංවර්ධනය කිරීම මෙදින ආරම්භ කෙරිණ. මේ සදහා රුපියල් මිලියන 383 ක මූල්‍ය ප්‍රතිපාදන වැයවන අතර, මාස 6 ක කාලයක් තුල ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් හා තරගකාරී ටෙන්ඩර් පටිපාටියෙන් ඉදිරිපත් වූ දේශීය සමාගම් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම ප්‍රධාන මාර්ග ව්‍යාපෘතියට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කය තුල දිට්වා හානි වූ සියලු මාර්ග සංවර්ධනය කෙරේ. එය සංකේතාත්මක කරමින් මාර්ග ව්‍යාපෘති තුනක සංවර්ධන කටයුතු ද ආරම්භ වූ අතර රුපියල් මිලියන 296 ක වියදමින් තවලම්තැන්න - තලවකැලේ මාර්ගය (B 412) ද රුපියල් මිලියන 302 ක වියදමින් හරංගල - කලපිටිය - කුඹල්ඔළුව මාර්ගය (B 148)  ද  රුපියල් මිලියන 205 ක විදයමින් නුවරඑළිය නගර මාර්ගය (B 331) ද සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණ.

දිට්වා හානි මාර්ග සංවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ;

‘දිට්වා ව්‍යසනයෙන් රටට විශාලතම භෞතික සම්පත් විනාශය සිද්ධ වුණා. ආර්ථිකයට දැවැන්ත බලපෑමක් ඇති කළා. ජීවිත හානි රැසක් සිදුවුණා. රටේ දිස්ත්‍රික්ක 25 න්  23 කටම ආපදාවේ බලපෑම් ඇතිවුණා. රජය සැමවිටම පරිසර සංරක්ෂණ සංවර්ධනයකට කැපවෙලා සිටිනවා. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට, නිර්ණායකයන්ට අනුගතව තිරසර විනිවිද භාවයෙන් යුත් සංවර්ධන ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක කරනවා. ස්ථීරවම මේ රට හදන්න පටන් ගන්නවා කියන පණිවුඩය රටට ලබා දෙනවා.

මෙම වැඩ ඇරඹුම් ස්ථානය ජාතික අධිෂ්ඨානය ප්‍රකාශ කරන සන්ධිස්ථානයක් බවද ප්‍රදේශයේ ජනතාවගේ අධිෂ්ඨානය, මේ දැවැන්ත කඳුවලටත් වඩා විශාල යැයිද සිහිපත් කළ අමාත්‍යවරයා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අරමුණ වන්නේ තිබුනාට වඩා උසස්, ප්‍රමිතිගත, ආරක්ෂිත යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති කරමින් ජනතාවට පහසුකම් සපිරි, ජන ජීවිතයක් ලබාදීම බවද අවධාරණය කළේය.