ලෝක වනාන්තර දිනය අදයි

ලෝක වනාන්තර දිනය අදයි
  • SocialShare:

ලෝක වනා­න්තර දිනය අදට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ඒ අනුව 2013 වර්ෂයේ සිට ජාත්‍යන්තරව මෙම දිනය සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව 2014 සිට මෙම දිනය සමරනු ලබයි.

වනාන්තර සුරක්ෂිත කිරීමේ වනස්පති වැඩසටහන තවදුරටත් දීර්ඝ කරමින් මෙම වසරේ මාර්තු 21 වනදාට එනම් අදට යෙදෙන ජගත් වනාන්තර දිනයට සමගාමීව අප රට තුළ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කෙරේ.

වනාන්තරවල ඇති අගය පිළිබඳ මෙන්ම විවිධාකාර වනාන්තර පරිසර පද්ධතීන්ගේ ඇති වැදගත්කම පිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කරවාගනිමින් සමාජය දැනුවත් කිරීම තුළින් වනාන්තර සුරැකීම කෙරෙහි ජනතාව නැඹුරු කිරීම මෙම දිනයේ මූලික අරමුණ වී ඇත.

මෙවර ජගත් වනාන්තර දිනයේ තේමාව වනුයේ වනාන්තර සහ ආර්ථිකය යන්නයි.

අප රට පරිසරය පැත්තෙන් ජාත්‍යන්තර පැරිස් ගිවිසුමට අදාළව කටයුතු කරමින් සිටින අතරම රටක් ලෙස මෙරට පරිසරය ආරක්ෂා කිරීමට සහ 2030 වන විට මෙරට වන ගහණය 32% දක්වා වැඩිකිරීමේ සැලැස්ම අනුව කටයුතු කෙරෙනු ඇත.

පසුගිය වසරේ සිට වනාන්තර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ වනස්පති නමින් විශේෂ වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර ගිය වසරේ වනස්පති වැඩසටහන යටතේ වනාන්තර 29ක් රක්ෂිත ලෙස ගැසට් කර ප්‍රකාශයට පත්කරමින් ඒවා ආරක්ෂා කිරීමේ කටයුතු ඇරඹිණි.