කොලොන්නාවේ දිට්වා ව්‍යසනයෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ නිවාස හිමියන් 1,253 කට වන්දි‍

කොලොන්නාවේ දිට්වා ව්‍යසනයෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ නිවාස හිමියන් 1,253 කට වන්දි‍
  • SocialShare:

පසුගිය දිට්වා ව්‍යසනයෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‌යේ නිවාස හිමියන් අතරින් තෝරාගත් නිවාස හිමියන් 1,253 දෙනෙකුට හානිපූර්ණ වන්දි සඳහා චෙක්පත් පිරිනැමීම නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ කෙරිණ.

කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ගොතටුව ශ්‍රී කන්දෙ විහාරස්ථානය සහ මුල්ලේරියාව ශ්‍රී කලටුවාවත්ත පුරාණ විහාරස්ථානයන්හිදී මෙම වන්දි ප්‍රදානයන් සිදුවිය.

අර්ධ හානි වූ නිවාස සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදලින් පළමු ඉදිකිරීම් වාරික මුදල ලෙස රුපියල් ලක්ෂ 03 ක වටිනාකමින් යුත් චෙක්පත් ලබාදීම සිදු කෙරුණු අතර, එම මුදල් නිවාස ඉදිකිරීම් සඳහා යොදවා නිවසේ ඉදිකිරීම් ප්‍රගතිය අනුව ඉතිරි ලක්ෂ 02 ක වන්දි මුදල ගිවිසුම්ගත එකඟතාව අනුව ලබාදීමට කටයුතු කෙරේ. ජීවත්ව සිටි නිවසට වඩා ප්‍රමිතිගතව සහ ආරක්ෂිතව ඉදිකිරීමට යෝජිත මෙම නිවාස ඉදිකිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ නිරන්තර සහය ලබාදීම විශේෂත්වයකි. නිවාස වැඩසටහන කාර්යක්ෂමව සිදු කිරීමට නිවාස හිමියන් දිරිගන්වා ලැබුණු මුදල් නිසි කළමනාකාරිත්වයකින් යෙදවීම පිළිබඳ දැනුම්වත් කිරීම සහ මෙහෙයවීම ඔවුන් විසින් සිදුකෙරේ.

දිට්ටාවෙන් හානියට පත් කොලොන්නාවේ පවුල් 55,000 කට අධික ජනතාවකට විවිධ සහන ලබාදීම් සිදුකර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුලදී සියලු ආකාරයේ හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.

වන්දි ප්‍රදානයට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා,

‘දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ, හානියට පත් කොලොන්නාවේ ජනතාවට කෙටි කලකින් යළි නැගී සිටීමට හැකිවුණා. ජීවිත, දේපල විනාශ වුවත් නැවත නැගී සිටින්න හැකියාව ඇති, ශක්තිමත්, ධෛර්යවත් ජනතාවක් කොලොන්නාවේ සිටින බව පෙන්නුවා. ඊට නොදෙවෙනි ධෛර්යයකින්, හැඟීමකින්, කැපවීමකින් රාජකාරිය ඉටුකළ රාජ්‍ය නිලධාරීන් ඇගයීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. දේශපාලන අධිකාරිය ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණ ගනිමින් නායකත්වය ලබාදුන්නා. එම තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලේ නිලධාරි යාන්ත්‍රණය. එබැවින් ඔවුන් ඇගයීමට ලක්කල යුතුයි.

කොළඹට වඩා භෞතිකව හානිවූ දිස්ත්‍රික්ක ගණනාවක් රටේ තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම පවුල් සංඛ්‍යාවක් හානියට පත්වුණේ කොලොන්නාව ආසනයේ. එමනිසා අර්බුදය කළමනාකරණය විශාල අභියෝගයක් වුණා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය ජනතාවට වේගයෙන් ප්‍රතිලාභ ලබාදීමට මැදිහත් වුණා. දුෂ්කර අභියෝගයක් වුවත් සාමූහිකව කෙ‌මෙන් කෙමෙන් ඉලක්කයට ළඟා වුණා. රෑ දවල් නොබලා වගකීමට එහා ගිය සේවාවක් ඉටු කළා. අත් නොහැර වැඩ කළා.

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ජාතික වැඩසටහන දැන් අරඹා තිබෙනවා. එහිදී අපි අලුත් දේශපාලන සංස්කෘතියක් මත කාටත් සමාන ප්‍රතිලාභ දෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් දේශාපාලන අධිකාරිය සහ නිලධාරීන් එක්ව වැඩ කළා. මේ ධෛර්යවන්ත මැදිහත්වීමට දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සේවය අගය කළයුතු වෙනවා. නිලධාරීන් පිළිබඳ පසුගිය යුගයේ තිබුණේ වැරදි ආකල්පයක්. අද වනවිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර තිබෙනවා.