ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි
  • SocialShare:

ලෝක මුඛ දිනය අදට (20) යෙදී ඇති අතර, එම දිනය සැමැරීම නිමිත්තෙන් වූ මෙරට ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ගාළු මුවදොර පිටියේ දී පැවැත්විණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වාර්ෂිකව මාර්තු 20 වන දින සමරනු ලබන අතර, මෙවර පවත්වනු ලැබූ ශ්‍රී ලංකාවේ 13 වන  ජාතික මුඛ සෞඛ්‍ය සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය, ලෝක දන්ත වෛද්‍ය සම්මේලනය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සහ Haleon සමාගම එක්ව සංවිධානය කරනු ලැබීය.

 "සතුටු මුවයි - සුවැති දිවියයි" (A Happy Mouth Is … A Happy Life) යන තේමාව ඔස්සේ පාසල් දරුවන් සහ මහජනතාව මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම, නොමිලේ දන්ත සායන පැවැත්වීම, සහ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම දන්ත සංවේදීතා පරික්ෂණ ද මෙහිදී සිදු කෙරිණි.  ‍

මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් දන්ත වෛද්‍ය සායනයකට ගොස් නොමැති බවට අනාවරණයක්.

මුල් අවස්ථාවේම රෝගීන් හදුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් විය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා කියා සිටියේ මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ගත කරමින් සිටින බවත්, නමුත් මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය ජනතාවට සාධාරණ ප්‍රවේෂයන් ලබාදිමට තවමත් අපොහොසත්ව ඇති බවද පැවැසිය.

ජනතාවට මුඛ සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා ප්‍රවේශයට සාධාරණ අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරණා රජය ගනු ලබන බවද පැවසූ අමාත්‍යවරයා මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් දන්ත වෛද්‍ය සායනයක ගොස් නැති බව වාර්තා වන බව ද පෙන්වා දෙන ලදි.

රෝග ආසාදන ව ශරීරයට බලපෑම් එල්ලවන විට රෝගී අවස්ථාවක් ලෙස සළකා ජනතාව ප්‍රතිකාර සඳහා යොමුවන බවත්, ජනතාවට සෞඛ්‍ය සම්බන්ධ වූ පණිවුඩ රැගෙනයාමට අපොහොසත්වීම ඊට හේතු වී ඇති බවත්, නවීන තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කළ ද සමස්ත මාධ්‍ය ජාලය සරළ සෞඛ්‍ය පණිවුඩ ජනතාව තුළ ජනගත කිරිමට අපොහොසත් ව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

ලෝකයේ මුඛ සෞඛ්‍ය සේවාවේ ඉහළීන්ම සිටින රටක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධ වූ සරළ පණිවුඩ ජනතාවට අතරට ගෙනයාමේ වගකීම සියළු දෙනා සතු වන බවත්, නිරෝගී පුද්ගලයෙකුට තමන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳ යම් උපදෙසක් රෝගී තත්ත්වයන් උත්සන්නවීමට පෙර ලබාගැනිමට සහ මුල් අවස්ථාවේම රෝගීන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා එම පුද්ගලයා පිළිගැනීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම් විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය කටයුතු සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා වෛද්‍ය චන්දන ගජනායක,  ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති වෛද්‍ය නිලන්ත රත්නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය දන්ත වෛද්‍ය පීඨය නියෝජනය කරමින් මහාචාර්ය හේමන්ත අමරසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත වෛද්‍ය පීඨය නියෝජනය කරමින් මහාචාර්ය බී.එම්.එස්.කේ බන්නැහැක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය රවීප්‍රිය රණවක යන මහත්ම මහත්මීන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර දන්ත පීඨයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.