පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ලබාදීම සහතික කෙරේ

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ලබාදීම සහතික කෙරේ
  • SocialShare:

පවතින ගෝලීය යුදමය තත්ත්වය හමුවේ වුවද, මෙරට පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ලබාදීම සහතික කරන බවත්, ඒ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ පිටි නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ඊයේ (19) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එම සාකච්ඡාවේදී මෙරට වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානය යොමු කරන ලදී.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පාරිභෝගික අවශ්‍යතාව සඳහා ඉදිරි මාස තුනකට ප්‍රමාණවත් තිරිඟු පිටි තොග කර්මාන්තශාලා සතුව පවතින බව, අර්තාපල් හා ලොකු ලූනු යන ද්‍රව්‍යවල මිල ස්ථාවරව පවතින බව, සහ ඉදිරි සති දෙක තුන සඳහා ප්‍රමාණවත් තොග දැනටමත් පවතින බවයි.

මාස හතරකට අධික කාලයක් සඳහා ප්‍රමාණවත් අතිරික්ත සහල් තොග (නාඩු, රතු නාඩු, සුදු හා රතු කැකුළු) රට තුළ තිබෙන බවද ඔහු පැවසීය.

කීරි සම්බා සහ සම්බා සහල්වල සුළු හිඟය ඉදිරි මාස කිහිපය තුළ විසඳුම් ලබාදීමට කටයුතු කරන අතර, වෙළඳපොළේ සීනි මිල ස්ථාවරව පවතින බව සහ සැපයුම් ජාලය අඛණ්ඩව පවත්වා ගැනීමටත් පියවර ගෙන ඇත.

නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන්ගේ ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාවන් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, සියලුම ප්‍රවාහන රථ වාහන වෙළඳ අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවය දැනුම් දීමට හැකි පරිදි කටයුතු කර ඇත.

ඉන්ධන සහ ගෑස් හදිසි මිලදී ගැනීම් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින්, ඒවා උපරිමයෙන් මිලදී ගෙන සැපයුම තහවුරු කිරීමට කටයුතු කරමින් පවතින බවද අමාත්‍යවරයා පවසයි.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉරානය වැනි රටවලින් හාල්මැස්සන් ආනයනයට ඇති බාධා හඳුනාගෙන ඇති අතර, ඒ වෙනුවට තායිලන්තය වැනි රටවලින් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතා කමිටුව සහ අත්‍යවශ්‍ය ආහාර පිළිබඳ කැබිනට් අනුකමිටුව රැස්වී, උත්සව සමය ඉලක්ක කර ගනිමින් සැපයුම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය තීරණ ගැනීමට කටයුතු කරන අතර, ජනතාව වුවද යුද තත්ත්වයන් හමුවේ කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙස, රජය සියලු පහසුකම් සැපයීමට කැපවී සිටින බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.