සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය සඳහා අමාත්‍යාංශ මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කෙරේ

සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය සඳහා අමාත්‍යාංශ මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කෙරේ
  • SocialShare:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය සඳහා ප්‍රවේශය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම මෙන්ම රෝග ව්‍යාප්තිය වැලැක්වීම සහ සහන කඳවුරු සුදුසු තත්වයන් යටතේ පවත්වාගෙන යාම සඳහා අධීක්ෂණය සහ උපදෙස් ලබාදීම වෙනුවෙන් Rebuilding Sri Lanka කාර්යසාධක බලකාය යටතේ පිහිටුවා ඇති සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ අනු කමිටුව ඊයේ (19) පස්වරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

එහිදී කමිටුවට අදාල එක් එක් අමාත්‍යාංශය මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය සඳහා වන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. ඒ අනූව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරකෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යන ආයතන හා අමාත්‍යාංශයන් මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරන ලදි.

විශේෂයෙන් ආපදාවට පත් ජනතාව හා දේපල හානි පිළිබඳව නිවැරදි දත්ත රැස්කිරීමත්, නිරන්තර පසුවිපරම් කිරිමත් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණුනි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සභාපතීත්වය දරන මෙම කමිටුවේ ජනාධිපති අතිරේක ලේකම් ජේ. ආර්. සී. ජයතිලක මහතා ලේකම් ධූරය දරන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම වෛද්‍ය අනිල් ජයසිංහ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් ටී. වික්‍රමසිංහ, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති සී. ටී. බණ්ඩාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සම්පත් කොටුගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු ( ආචාර්ය ) ආසිරි කරුණාවර්ධන, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දර්ශනී ද සිල්වා,ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. පීරිස් යන මහත්ම මහත්මීන් හා කමිටුව විසින් නම් කරන ලද සිවිල් සමාජ නියෝජිතයන් එහි සාමාජිකයන් වෙයි.