බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර දහයක් (10) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වූ සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි මනාව සැලසුම් කරන ලද නාවික මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත්, ඊට සමඟාමීව රජය ක්‍රියාත්මක කරන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන්ද තීව්‍ර නාවික මෙහෙයුම් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි සිදු කරනු ලබන බවත් එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට පැමිණි බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සදහන් කළේය.
මෙම වසරේ ගතවූ මාස තුනක කාලයේදී සිදු කළ නාවික මෙහෙයුම් මගින් රුපියල් බිලියන 20කට අධික දළ වීථි වටිනාමකින් යුතු විෂ මත්ද්‍රව්‍ය මෙන්ම යාත්‍රා 7ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
මෙම අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබේ.


