නැවත දැනුම්දෙන තුරු බදාදා රජයේ නිවාඩු දිනයක්

නැවත දැනුම්දෙන තුරු බදාදා රජයේ නිවාඩු දිනයක්
  • SocialShare:

මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන සැපයුම් ගැටලු සැලකිල්ලට ගනිමින්, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම නිවාඩු තීරණය රජයේ කාර්යාල සඳහා අදාළ වුවද, සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එය අදාළ නොවේ. එසේම පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රය සඳහාද මෙම නිවාඩුව බලපැවැත්වෙන බවද ඔහු පැවසීය.

මීට අමතරව, රජය විසින් සංවිධානය කරන සියලුම උත්සව කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමටද තීරණය කර තිබේ. මෙම තීරණය පෞද්ගලික අංශයට ද ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සහ ලංකා සේවායෝජක සම්මේලනය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම, සතියේ ඉතිරි දින හතර තුළ සේවා ස්ථානවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට බලය ලබා දී ඇති බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.