මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට විශේෂ කමිටු 04ක්

මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට විශේෂ කමිටු 04ක්
  • SocialShare:

මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන ගැටලු සඳහා පූර්ව සූදානමක් ලෙස, නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේ අද (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එමෙන්ම, ජනජීවිතය සහ රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ කමිටු 4ක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, රාජ්‍ය සේවාවන් පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.බලශක්ති කටයුතු සම්බන්ධ කමිටුව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධ කමිටුව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජ සුබසාධන කටයුතු සම්බන්ධ කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
මෙම කමිටු මගින් රට තුළ පවතින තත්ත්වය අධ්‍යයනය කරමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීම සිදු කිරීමට නියමිත අතර, රජය විසින් සංවිධානය කරන උත්සව කටයුතුද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.
දැනට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින අතර, ඉදිරියේ ඇතිවිය හැකි ගැටලු සඳහා සූදානම් වීමේ අරමුණින් මෙම තීරණ ගෙන ඇති බවද ඔහු පැවසීය.
තවද, බදාදා දිනය නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කළද, එදින හැර අනෙකුත් දිනවල නිලධාරීන් සේවයට කැඳවීම පිළිබඳ තීරණ ගැනීමේ බලය අදාළ ආයතනවලට ලබා දී ඇතදැනට ක්‍රියාත්මක ඉන්ධන කේත (Fuel Code) ක්‍රමය එලෙසම පවත්වාගෙන යන අතර, සංචාරක, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් සැලකිල්ලට ගනිමින් බෙදාහැරීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවධානය යොමු කර ඇත.
මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, බලශක්ති පරිභෝජනය අවම කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබාදීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණු බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශ උපදෙස් අනුව බදාදා දිනය පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, සතියේ අනෙකුත් දිනවල සාමාන්‍ය පරිදි පාසල් කටයුතු සිදු කෙරේ.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම පළාත් පාලන ආයතන මගින් සපයන සේවාවන් අත්‍යවශ්‍ය ලෙස සලකා, විශේෂයෙන්ම ආපදා අනතුරු පසු නැවත පදිංචි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.