හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ට ආරාධනා

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ට ආරාධනා
  • SocialShare:

2026 වසරේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබඳව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය අතිපූජ්‍ය මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාට ආරාධනා කිරීමටත් අනුශාසනා ලබාගැනීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) කටයුතු කළේය.

ඒ අනුව මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤානරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාට රාජ්‍ය මහෝත්සවය පිළිබඳව දැනුවත් කර ආරාධනා කරන ලදී.

එමෙන්ම මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අභිදාන අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අනුනායක ස්වාමින් වහන්සේ සහ මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්මාභිදාන අනුනායක ස්වාමින් වහන්සේ යන අනුනායක ස්වාමින් වහන්සේලා ද බැහැදැක මහෝත්සවය පිළිබඳව දැනුවත් කරමින් අවවාද අනුශාසනා ලබාගන්නා ලදි.

මහනුවර රජ දවස සිට අවුරුදු සිරිත් විරිත් පැවැත්වීමේ වැදගත් ස්ථානයක් ලෙස දළදා මාලිගාව හා රජ මාලිගාවට හිමි වූ බවත්, එම සම්ප්‍රදායන්ට ගරු කරමින් වර්තමානයේ දී හිසතෙල් ගෑමේ ප්‍රධාන රාජ්‍ය උත්සවය මහනුවර නාථ දේවාලයේදී පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව මල්වතු හා අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලා මෙහිදී සිය ප්‍රසාදය පළ කළහ.

මෙවර රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති අතර, එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය යූ.එස්.කේ. දෙනාවත්ත, අතිරේක ලේකම් (සංවර්ධන) දේශීය වෛද්‍ය සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී සී. කරුණාරත්න සහ මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය අජන්තා දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.