කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහනේ (Industry Recovery Foster Program - IRFP) පළමු අදියර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සාර්ථකව අවසන් කළ බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
'දිට්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් මෙරට නිෂ්පාදන අංශයට සිදුවූ දැඩි ආර්ථික බලපෑමෙන් ඔවුන් මුදාගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම ආපදාව හේතුවෙන් නිෂ්පාදන අංශයට සිදුව ඇති සමස්ත ආර්ථික හානිය රුපියල් බිලියන 33.96ක් පමණ බව මූලික තක්සේරුවෙන් අනාවරණය වී තිබේ.
එයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමුද්‍රව්‍ය සහ තොග සඳහා වන අතර (රුපියල් බිලියන 10.2), ආදායම් අහිමිවීම් සහ යන්ත්‍රෝපකරණ හානිය ද සැලකිය යුතු මට්ටමක පවතී.
එමෙන්ම කර්මාන්තශාලා ජලයෙන් යටවීම හේතුවෙන් යන්ත්‍රෝපකරණ අක්‍රීය වීම, නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටීම සහ සැපයුම් දාම බිඳ වැටීම මෙහිදී ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව පීඩාවට පත් කර්මාන්ත 43ක් සඳහා සහාය වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක්ම සම්බන්ධ වී තිබේ.
එසේම එවැනි ආපදා අවස්ථාවක පුද්ගලික අංශය ලබා දෙන සහයෝගය ඇගයීමට ලක් කිරීම ද මෙම වැඩසටහනින් සිදු කෙරේ.
ඉදිරියේදී මෙම වැඩසටහනට අමතරව, ඉහත හඳුනාගත් කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP (Industry Development Foster Program) ආරම්භ කිරීමට නියමිත බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.


