විදේශිකයින් දෙදෙනෙකු මෙරටට සූක්ෂ්මව රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ට ඊයේ (10) හැකි වී තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සිදු කරන ලද ඉලක්කගත පරීක්ෂාවකදී සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 32.159 ක කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් අනාවරණය කර ගෙන ඇති අතර එහි වීථි වටිනාකම රුපියල් කෝටි 32කට අධික වේ.
එම අවස්ථාවේදීම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සොයාගත් මත්ද්‍රව්‍ය තොගයද රේගු භාරයට ගෙන ඇත.
අදාළ සැකකරුවන් දෙදෙනා කැනඩා ජාතිකයන් වන අතර, වයස අවුරුදු 25ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 29ක් වූ කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් ඊයේ තායිලන්තයේ බැංකොක් නගරයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 403 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් සිදුකර ඇති අතර, සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) භාරදීමට නියමිතය.


