රජයේ ප්‍රතිපත්ති මත සාමූහිකව කටයුතු කළහොත් පවතින අභියෝග ජයගත හැකි අතර පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක්ජනතාවට උදා කර දිය හැකි බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
2026 වර්ෂයට අදාළ අන්තර්පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (06) දින නාරාහේන්පිට නිල මැදුර ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මෙහි දී පූර්ව රැස්වීම්වල ප්‍රගතිය සමඟ පළාත් මට්ටමෙන් 2025 වර්ෂයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමත් 2026 වර්ෂයේ ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීමත් සිදුවිය. ඒහිදී පළාත් සභාවලින් රේඛීය අමාත්‍යංශ හා ආයතන වෙත යොමු කර තිබූ ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර වඩාත් ඵලදායී සංවර්ධන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ ශක්තිමත් කර ගැනීමට ද අවස්ථාව සැලසුණි.
මෙහිදී සමුළුව ඇමතූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසූයේ දිට්වා ආපදාවත් සමඟ විනාශ වූ නිවාස, විශේෂයෙන්ම පළාත් සභාවලට අයිති මාර්ග සහ වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල අභියෝගයක් පවතින බවත් සාමූහිකව කටයුතු කරන්නේ නම් එම අභියෝග ජයගෙන, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ජනතාවට උදා කර දිය හැකි බවත් ය.
අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසී ය.
"ඔබ දන්නවා අපි 2025 වර්ෂය සඳහා යම් වැඩ ප්‍රමාණයක් කරගෙන ආවා. අපට තිබුණු මූලික ම ප්‍රශ්නය වූයේ ප්‍රතිපාදන උපරිම ඵලදායී ලෙස උපයෝගී කරගන්නේ කෙසේ ද යන්නයි. එම ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකින් සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා.
නමුත් 2025 වර්ෂය අවසානයේ ඇති වූ ආපදා තත්ත්වය නිසා දකුණු පළාත හැර අනෙකුත් බොහෝ පළාත්වලට බලපෑම් එල්ල වුණා. ඒ නිසා සමහර සැලසුම් කළ කටයුතු කර ගැනීමට නොහැකි වූ බව අපි දකිනවා. 2026 වර්ෂය සඳහා 2025 ට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් පළාත් සභාවලට වෙන් කර ඇති අතර, ජනවාරි මාසයේ සිටම එම ප්‍රතිපාදන ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා.
දිට්වා ආපදාවත් සමඟ විනාශ වූ නිවාස, විශේෂයෙන්ම පළාත් සභාවලට අයිති මාර්ග සහ වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල අභියෝගයක් අපට තිබෙනවා. ආපදා අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම නිසා ජනජීවිතයට එල්ල වූ පීඩාව අවම කර ගැනීමට හැකි වීම ගැන රජයේ ප්‍රශංසාව හිමි වෙනවා."
සමුළුව ඇමතූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අවධාරණය කළේ 2026 වර්ෂයේදී මීට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් පළාත් මට්ටමට ලැබෙන බවත් ජාතික සහ ජාත්‍යන්තර අභියෝග හමුවේ ඉතාම සැලකිල්ලෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් රටේ සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අපි සැම සාමූහිකව උත්සාහ කළ යුතු බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"අපි මේ සමුළුව පවත්වන්නේ රටක් හැටියට ඉතාම තීරණාත්මක මොහොතකයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය අපේ සංවර්ධන ව්‍යාපෘතිවලටත් බලපානවා. ගරු ජනාධිපතිතුමා හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජය ගත් තීරණ පිළිබඳව රටත් ලෝකයත් දැනුවත් කළා.
අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස ප්‍රධාන නාවික ගමනාගමන මාර්ගයක පිහිටා තිබීම නිසා ලෝක දේශපාලන බල අරගලවල බලපෑම අපට සෘජුවම දැනෙනවා. අපට ඇත්තේ කුඩා ආර්ථිකයක් වුවත්, මානුෂීය රාජ්‍යයක් විදිහට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපි තීරණය කළා. ඒ අනුවයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඉරාන නාවික කණ්ඩායමකට මානුෂීය ආධාර ලබා දීමට අපි තීරණය කළේ.
පසුගිය වසරේ මැතිවරණ කටයුතු නිසා සංවර්ධන ව්‍යාපෘති සඳහා අපට ලැබුණේ මාස පහක හෝ හයක වැනි කෙටි කාලයක් පමණයි. නිලධාරීන්ගේ හිඟකම මධ්‍යයේ වුව ද විශාල වැඩ කොටසක් සිදු කිරීමට හැකි වීම ප්‍රාතිහාර්යක් වැනියි "
මෙම සමුළුව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඒස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුළු සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි වර්ග අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සහ මුදල් කොමිෂන් සභාව, අයවැය දෙපාර්තමේන්තුව, කළමනාකරණය සේවා දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව යන ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.


