ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැහැ - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැහැ - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
  • SocialShare:

පවතින යුදමය වාතාවරණය යටතේ ඉන්දියන් සාගරයේ ධීවර රැකියාවේ නිරත මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත කහවත්ත මහතා තහවුරු කරයි.

එසේම මෙම යුදමය ක්‍රියාකාරකම් නිශ්චිත ඉලක්කයන් මුල් කරගෙන සිදුවන බැවින් මෙරට ධීවර යාත්‍රාවලට ඉන් සෘජු බලපෑමක් ඇති නොවන බවද ඒ මහතා පෙන්වා දේ.
ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බව ද ඒ මහතා සඳහන් කරයි.
දැනට බහුදින ධීවර යාත්‍රා 2000ත් 2500ත් අතර ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) සහ ජාත්‍යන්තර මුහුද ඇතුලු ඉන්දියන් සාගරයේ දෛනිකව ධීවර රැකියාවේ නිරතව සිටින බව ඒ මහතා පෙන්වා දේ.
ධීවර යාත්‍රා සහ කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වන ලෙසත් යුධමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට ගමන් නොකරන ලෙසත් ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිත කරන සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කරන ලෙසත් ධීවර රැකියාව නිමවූ වහාම නැවත ගොඩබිමට පැමිණෙන ලෙසත් ධීවර ප්‍රජාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කරයි.
තවද ඕනෑම හදිසි තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගොඩබිම පවතින ගුවන්විදුලි මධ්‍යස්ථාන මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ ක්‍රියාත්මක කරනු ලබන සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය (Colombo MRCC) ද පැය 24 පුරා ක්‍රියාත්මක බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය සමග 6215.00 kHz , 8291.00 kHz, 4225.00 kHz සංඛ්‍යාත ඔස්සේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර මඟින් ධීවරයින්ට සම්බන්ධ විය හැකි බවත් හෙතෙම පෙන්වා දේ.
මෙම උපදෙස් තරයේ පිළිපදිමින් වඩාත් සැලකිලිමත්ව සිය වෘත්තියෙහි නිරත වන ලෙස සියලුම බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවර කාර්මිකයින්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.