ධීවර වරාය යටිතල පහසුකම් නැංවීමට වෙන්කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන්න - ධීවර ඇමති

ධීවර වරාය යටිතල පහසුකම් නැංවීමට වෙන්කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන්න - ධීවර ඇමති
  • SocialShare:

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' උදෙසා ජනතාව තැබූ විශ්වාසය රකිමින්, මෙවර අයවැයෙන් ධීවර වරාය යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කළ විශාල ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2026 ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ, මාර්තු 4 වන දින, සංස්ථා පරිශ්‍රයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, ජාතික ජන බලවේග රජය කෙරෙහි විශ්වාසය තබා බලය ලබා දුන් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවාවන් නොපිරිහෙලා ඉටු කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි.

විශේෂයෙන්ම මෙවර අයවැය මගින් ධීවර වරාය නීතිගත සංස්ථාවට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බව ද 2026 කාලසීමාව තුළ එම මුදල් උපරිම ඵලදායිතාවයකින් යුතුව යොදවා සැලසුම් කළ ව්‍යාපෘති නිසි වේලාවට අවසන් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ යම් පසුබෑමකට ලක්ව තිබූ ධීවර වරායන් යළි නගා සිටුවීමට මෙය කදිම අවස්ථාවක් බවයි. විශේෂයෙන් ගාල්ල වැනි තදබදය අධික වරායන්හි ජැටි නඩත්තුව, මාර්ග පද්ධතිය සහ පවිත්‍රතාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

"ධීවර වරායකට සේවය ලබා ගැනීමට පැමිණෙන ධීවර ජනතාව මෙන්ම අනෙකුත් පිරිස් සිනහමුසු මුහුණින් ඇතුළු වී, තම අවශ්‍යතාවය ඉටු කරගෙන සිනහමුසු මුහුණින් පිටව යා හැකි පරිසරයක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන යොදවා වරාය පද්ධතිය පිරිසිදුව හා විධිමත්ව පවත්වාගෙන යාමට ඔබ සියලු දෙනාගේ කැපවීම අත්‍යවශ්‍යයි," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි මහතා ඇතුළු සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් සහභාගී වූහ.