අපි වගේ රටක් යුද්ධයේ අතරමැදිකරුවන් හෝ ගොදුරු බවට පත්විය යුතු නැති බවද එමනිසා මෙම යුධ ගැටුම් වළක්වා ගැනීමට වචනයෙන්ද ක්‍රියාවෙන්ද කළ හැකි සියලු දේ සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැතැයිද ආණ්ඩුව සැමදා සිටියේ යුද ගැටුම් වලින් සාමාන්‍ය ජනතාව වින්දිතයින් බවට පත්විය යුතු නැතැයි යන ස්ථාවරයේ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
යුද්ධය කෙදිනකවත් ලොවට ප්‍රගතියක් රැගෙන විත් නැතැයි පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා යුද්ධය කවදාවත් ලෝකයේ ගමනට රුකුලක් වී නැතැයිද සෑම විටකම බාධාවක් වූ බවද සදහන් කළේය.
අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම වෙනත් බලවත් කණ්ඩායම්වල ඇති දේශපාලන අවශ්‍යතා මත සිදුවන ගැටුම් වලදී වින්දිතයන් බවට පත්වූයේ ඕනෑම රටක සාමාන්‍ය ජනතාව බව සිහිපත් කළ අමාත්‍යවරයා එම සාමාන්‍ය ජනතාව සහ දේපළ විනාශ වෙනවාට එරෙහිව ආණ්ඩුව කවදත් කටයුතු කර ඇතැයිද ආණ්ඩුවේ ස්ථාවරය එය බවද පෙන්වා දුන්නේය.
මෙරට ජනතාව මෙරට පැවති යුද්ධයේ ප්‍රතිඵල දන්නා බවද එලෙස මතක පරම්පරාවක් මෙරට සිටින බවද සිහිපත් කළ අමාත්‍යවරයා එමනිසා කිසිවෙකු යුද්ධයක් ප්‍රාර්ථනා නොකරන බවද අවධාරණය කළේය. රටක් වශයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර ඇතැයිද ඇතමෙකුට එම ස්ථාවරය සිය ස්ථාවරය සමග සමපාත නොවනු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා එය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවද පැවසුවේය.
ඕනෑම කෙනෙකුට ස්ථාවරයක් ගත හැකි බවද කෙනෙකුට යුද්ධය පැත්තේ හෝ සාම කඳවුරේ සිටගත හැකි බවද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා එය පුද්ගලයාගේ හෝ පුද්ගලයින් අයත් සංවිධාන වල පුද්ගලික කැමැත්ත විය හැකි යැයිද අවධාරණය කළේය.


