මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ට සහ විදේශගත ශ්‍රමිකයන්ට, ආරක්ෂාව සහ සුභ සාධන සැලසීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ට සහ විදේශගත ශ්‍රමිකයන්ට, ආරක්ෂාව සහ සුභ සාධන සැලසීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
  • SocialShare:

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමටත්, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ත් රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.

මෙම තීරණ ගනු ලැබුවේ පසුගියදා(01) ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය. එය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වීසා සහන

මෙරට රැඳී සිටින සංචාරකයන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. අවශ්‍යතාව මත තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ සලකා බැලෙනු ඇත.

විදේශ අමාත්‍යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමටද තීරණය විය.

විකල්ප ගුවන් ගමන්

මැදපෙරදිග රටවල් කිහිපයක ගුවන් අවකාශ වසාදැමීම හේතුවෙන් ඇති වූ අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් එක්ව විකල්ප ගුවන් මාර්ග පිළිබඳ සලකා බලමින් සිටී.

එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට විකල්ප ගමනාන්ත හරහා පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද අවධානය යොමු කර ඇත.

24 පැය මෙහෙයුම් මැදිරි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය – 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සංචාරකයන්ට සහාය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය – 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ට සහාය.

තවද මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇති අතර, හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සියලු පාර්ශව සූදානම් බව ද අවධාරණය කෙරිණි.

රජය පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්, අවශ්‍ය කඩිනම් තීරණ ගැනීමටත් සූදානම් බව සඳහන් කරයි.