ශ්‍රී ලංකා – ජර්මානු ආර්ථික හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතය.
අද (26) ආරම්භ වන මෙම සංචාරයේදී දෙරට අතර වෙළෙඳ හා විදේශ රැකියා ක්ෂේත්‍රවල සබඳතා වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වේ. ජර්මානු – ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමය (OAV) හි බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව OAV සංගමයේ 125 වැනි සංවත්සර උත්සවයට ආසියාව නියෝජනය කරමින් ගෞරවණීය අමුත්තා සහ ප්‍රධාන දේශකයා ලෙස විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිතය. එම අවස්ථාවට ජර්මනිය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය Johann Wadephul මහතාද එක්වීමට නියමිතය.


