අර්බුද නිර්මාණය කර පරිභෝගිකයා පීඩාවට පත් කර, ව්‍යාපාරික වශයෙන් කූට වාසි ලබා ගැනීමට ඉඩ දෙන්නේ නෑ - වෙළඳ ඇමති

අර්බුද නිර්මාණය කර පරිභෝගිකයා පීඩාවට පත් කර, ව්‍යාපාරික වශයෙන් කූට වාසි ලබා ගැනීමට ඉඩ දෙන්නේ නෑ - වෙළඳ ඇමති
  • SocialShare:

ලිට්රෝ සමාගමේ ගෑස් සැපයුමෙහි කිසිදු අඩාල වීමක් හෝ හිඟයක් සිදුව නොමැති අතර අද (20) ගෑස් සිලින්ඩර අසූ දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

හෙට දිනයේ(21) ගෑස් සිලින්ඩර පනස් දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර සඳුදා සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මෙරට ගෑස් අවශ්‍යතාව අනුව වෙළෙඳපොලේ 80%ක්ම ගෑස් සැපයුම සිදු කරනු ලබන්නේ රජයේ ගෑස් සැපයුම් සමාගම වන ලිට්රෝ සමාගම හරහා වන අතර ඉතිරි 20%ක පමණ ප්‍රමාණය ලාෆ් සමාගම විසින් සිදු කරනු ලබයි.

ලාෆ් සමාගමේ ගෑස් සැපයුම අඩාල වීම හමුවේ එම ගෑස් පරිහරණය කළ පාරිභෝගිකයන් ද ලිට්රෝ ගෑස් මිලදී ගැනීමට පෙළඹී ඇති බැවින් ලිට්‍රෝ ගෑස් සඳහා පවතින ඉල්ලුම මේ වන විට ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙන ලදී.

මෙම වසරේ ජනවාරි මාසයේ මෙරට ගෑස් අවශ්‍යතාවය වූ මෙට්‍රික් ටොන් 23,000ක ගෑස් සැපයුම සදහා රජයේ  ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව තෝරාගත්  සැපයුම්කරු විසින් ලිට්රෝ සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් 24,000ක තොගයක් සපයන ලදී.

පෙබරවාරි මාසය සඳහා ද ඉල්ලුම වැඩිකරමින් ලිට්රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 28,000ක තොගයක් අදාළ සැපයුම්කරුගෙන් ඉල්ලුම් කර තිබිණ.

ඊට අමතරව මෙම මස 22වනදා ගෑස් මේට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර, 26වනදා ද තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක නෞකාවක්  හා  28වනදා මේට්‍රික් ටොන් ටොන් 3700ක ගෑස් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා,

“අපි ලබන සතියෙත් මේ සමාගම සාකච්ඡාවකට කැඳවලා තියෙනවා. ඒගොල්ලෝ විවිධ අවස්ථාවල මේ ප්‍රශ්නය, ප්‍රශ්නයක් බවට පත්කරන්නටත් කටයුතු කරනවා. රජයක් හැටියට ඒ ගැන කල්පනා කරලා ඒ ගැන හිතලා අවස්ථා දෙකකදී විශේෂයෙන් 2024 දෙසැම්බර් මාසෙත් ඔවුන්ට හම්බන්තොටට යම් ප්‍රමාණයක් ගෑස් ගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. මොකද හම්බන්තොට ගෑස් ටර්මිනල් එකක් තියෙනවා මේ අයට. මේ ටර්මිනල් එකට ගේන ගෑස් වලින් 20%ක් දේශීය වෙළෙඳපොලටත්, 80%ක් අපනයනය කරන්නත් එකඟව තමයි ඔවුන් මේ කටයුත්ත කරමින් තියෙන්නේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඒ අයට මෙට්‍රික් ටොන් 9000කට ආසන්න ප්‍රමාණයක් ගෙනත් වෙළඳපොළට නිදහස් කිරීමට රජය ඉඩ දුන්නා. ගිය නොවැම්බර් මාසයේ දිට්වා සුළි කුණාටුවත් සමඟ පැමිණි ගෑස් නැවද, නැවත කොළඹට ගේන්න බැරි උනාට පස්සේ හම්බන්තොටින් ගොඩබාලා බෙදා හැරීමට අවසරය ලබාදුන්නා. දෙසැම්බර්, ජනවාරි අපි දෙගොල්ලොම ගෑස් සැපයුවා ප්‍රශ්නයක් වුණේ නෑ. මේ සමාගම ගෑස් ගෙනත් බෙදා හැරීම් කළ යුතුයි.”

කහ පාට ගෑස් සිලින්ඩරය මිලදී ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයා යම් මුදලක් ගෙවා ආරක්ෂණ තැන්පතුවක් සිදු කර ඇති බැවින් එම ජනතාවට ගෑස් සැපයීම, අදාළ සමාගමේ වගකීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

“ගෑස් හිඟයක් බවට මේක පත්වෙන්නේ නැහැ මේ සමාගම සුපුරුදු ලෙස ගෑස් ටික දුන්නා නම්. දැන් මේක ගෙනත් නොදීම නිසා නිසා රජය හදුනාගෙන තියෙනවා රජයේ ගෑස් සමාගම ලෙස, නැවත පාරිභෝගිකයන්ට ගෑස් ප්‍රශ්නයක් ඇති නොවිය යුතුයි කියලා. ඒ නිසා ලබන මාසයේ මාසික ගෑස් අවශ්‍යතාවය මේට්‍රික් ටොන් 38,000ක් ලෙස වැඩි කර සපයන ලෙස අදාළ ගෑස් සැපයුම් සමාගමට කියලා තියෙන්නේ. වෙළෙඳපොළේ හිඟව තිබෙන කහ පාට ගෑස් කඩිනමින් ගෙනවිත් පරිභෝගිකයාට ලබාදීම හොඳම විකල්පය වුවත්, සමාගම එය සිදු නොකරන්නේ නම් රජයක් ලෙස අපට කරන්න පුලුවන් දේ තමයි අසාධාරණට පත්වන පාරිභෝගිකයා වෙනුවෙන් සාධාරණය ඉටු කරන එක” 

අර්බුද නිර්මාණය කර පරිභෝගිකයා පීඩාවට පත් කර, ව්‍යාපාරික වශයෙන් කූට වාසි ලබා ගැනීමට ගන්නා උත්සාහයන් වැළැක්වීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“හම්බන්තොටට ගෙන එන ගෑස් වලින් 20%ක් ඒ ගොල්ලොන්ට වෙළෙදපොලට විකුණන්න පුළුවන්. ඉතිරි 80% අපනයනය කරන්න ඕන. ඒක තමයි එතැන පහසුකම දීලා තියෙන කොන්දේසිය. දැන් මෙහෙම අවස්ථා දෙකක තුනක ගත්තට පස්සේ මේ සමාගම හිතනවා අර්බුදයක් හදලා ප්‍රෙශර් එකක් ආපුවහම හම්බන්තොට ආපු ගෑස් ඔක්කොම තමන්ට විකුණ ගන්න දෙයි කියලා. ව්‍යාපාරික වශයෙන් එවැනි කූට වැඩවලට යන එක සමාගමකට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා රජය විදියට අපි තීරණය කරලා තියෙනවා මාර්තු මාසෙත් මේ තත්ත්වය ඇතිවෙනවා නම්, දැන් දැන් ආරංචි එනවා මේ මාසෙ 25 එන එකත් එන්නේ නැති වෙයි කියනවා. මාර්තු මාසයේ තමයි නැව් එන්නේ කියලා කියනවා. මේනේ මොකටද.? මේ එන්නේ හම්බන්තොටට ගේන ගෑස් ඔක්කොම මාකට් එකට දාන්න ඉඩ දෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ නීති කඩලා වැඩ කරන්න දෙන්න කියලා මේ සමාගම ඉල්ලන්නේ. රජයක් හැටියට නීති කඩල වැඩ කරන්න අපිට එකඟ වෙන්න බෑ. හැබැයි අපි ඔබට ගෑස් ගෙනල්ලා බෙදා හැරීම සඳහා දීපු අවස්ථාව පාවිච්චි කරලා මේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔබේ පැත්තෙන් ඒ ගන්නා වූ උත්සාහය ප්‍රමාණවත් නැති නිසා වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්වීමට රජයක් හැටියට තීරණ ගන්න වෙනවා.”

ඒ අනුව හිඟව පවතින කහ පාට ගෑස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයන්ට කහ පාට සිලින්ඩරවලට නිල් පාට ගෑස්  සිලින්ඩර මාරු කළ නොහැකි බැවින්, ඔවුන් වෙනුවෙන් ලිට්රෝ සමාගම මාර්තු මාසයේ 12වනදා සිට ඔවුන්ටද ලිට්රෝ ගෑස් ලබා ගැනීමට හැකි වන පරිදි  නිල් පාට සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම්කර ඇති බවද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.