ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවා සුදුසුකම් හා පළපුරුද්ද මත තනතුරු සදහා සේවක අන්තර්ග්‍රහණය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අද සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවා සුදුසුකම් හා පළපුරුද්ද මත තනතුරු සදහා සේවක අන්තර්ග්‍රහණය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අද  සිට ක්‍රියාත්මකයි
  • SocialShare:

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති තනතුර හැර ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු සියලු ශ්‍රේණි සදහා සේවක අන්තර්ග්‍රහණ කිරීම් අද (16)  සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලං. ග. ම. ඉතිහාසයේ ප්‍රථම වතාවට සුදුසුකම් හා පළපුරුද්ද මත සියලු තනතුරු සදහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම මේ යටතේ සිදුකෙරේ. ශ්‍රේණි 01 සිට 05 දක්වා තනතුරු සදහා 2026.02.16 දින සිට දින තුනක කාලයක් මෙම අන්තර්ග්‍රහණ කටයුතු සිදුකෙරෙන අතර, දිවයිනේ සියලුම ලංගම ප්‍රාදේශීය කාර්යාල මගින් ශ්‍රේණි 05 සිට ශ්‍රේණි 10 දක්වා ඉහළට සේවක අන්තර්ග්‍රහණ කටයුතු සිදුකෙරෙනු ඇත.

පසුගිය දශක ගණනාවක් පුරාවට දේශපාලන බලපෑමෙන් හා දේශපාලන හිතවත්කම් මත සිදුකල බඳවා ගැනීම් සහ උසස්වීම් ලබාදීම් හේතු කොටගෙන අවිධිමත් බදවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අතර, මේ හේතුවෙන් අකාර්යක්ෂම පරිපාලනයක් ගොඩ නැගී පැවතිණ. 24,000 කට අධික සේවක පිරිසක් පසුගිය රජයන්වල ග්‍රහණයට පත්වී විවිධ අනුචිත රාජකාරිවල යෙදවීම බහුලව සිදුවිණි.

ලංගමයේ පැවැත්මට හා ප්‍රගමණයට ඒම තත්ත්වය ඉතා අහිතකර ලෙස බලපෑ අතර, සුදුසුකම්, පළපුරුද්ද සහ වෘත්තීය කුසලතා නොසලකා සිදුකල බදවාගැනීම්, උසස්වීම් ලංගමයේ පරිහාණියට හේතු විය.

නව රජය බලයට පත්වීමත් සමග පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවය නැංවීමට සාධනීය පියවර රැසක් ගනු ලැබීය.

පොදු ප්‍රවාහනයේ රාජ්‍ය අංශයේ වැඩිම දායකත්වය ලබාදෙන ලංගම ප්‍රතිසංවිධානය කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ නව ප්‍රතිසංස්කරණ හදුන්වාදීමේ තවත් එක් තිරසර පියවරක් ලෙස මෙම සේවක අන්තර්ග්‍රණ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කෙරේ.