බ්‍රිතාන්‍ය වෙළඳ අවස්ථා පුළුල් කරගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

බ්‍රිතාන්‍ය වෙළඳ අවස්ථා පුළුල් කරගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
  • SocialShare:

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, "බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

මෙම සැසිය සඳහා දිවයින පුරා විසිරී සිටින අපනයනකරුවන් සහ ඒ ආශ්‍රිත පාර්ශවකරුවන් 200කට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ බ්‍රිතාන්‍යයේ DCTS යෝජනා ක්‍රමය යටතේ සිදුවී ඇති මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා දීම සහ බ්‍රිතාන්‍ය වෙළඳපොළට අපනයන පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමයි.

වැඩසටහනේ ආරම්භක දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තයක් ලෙස බ්‍රිතාන්‍යය සතු වැදගත්කම පිළිබඳව පැහැදිළි කර තිබේ.ෙවිශේෂයෙන්ම, DCTS යෝජනා ක්‍රමය මගින් අපනයනකරුවන්ට වැඩි දියුණු කළ වෙළඳපොළ ප්‍රවේශයක් සහ සරල කළ වෙළඳ ක්‍රියා පටිපාටි හිමිවන බව ඔහු එහිදී  අවධාරණය කළේය.

එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) දකුණු, අග්නිදිග සහ මධ්‍යම ආසියානු කලාපීය වෙළඳ උපදේශක එලී පාකර් මෙහි ප්‍රධාන දේශනය මෙහෙයවන ලදී. ඇය DCTS යෝජනා ක්‍රමය යටතේ හඳුන්වා දී ඇති ප්‍රධාන ප්‍රතිසංස්කරණ, සුදුසුකම් ලැබීමේ නිර්ණායක, අවශ්‍ය ලේඛන සහ තීරුබදු සහන නිවැරදිව ලබා ගන්නා ආකාරය පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කර ඇත.

ඉන් අනතුරුව පැවති සැසියේදී, අනුකූලතා අවශ්‍යතා, ලේඛන කටයුතු සහ රීති (Rules of Origin) වැනි ප්‍රායෝගික ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබුණි. මෙමගින් බ්‍රිතාන්‍ය වෙළඳපොළ තුළ සිය තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීම සඳහා DCTS පහසුකම භාවිත කරන ආකාරය පිළිබඳව අපනයනකරුවන්ට පැහැදිළි අවබෝධයක් ලබා ගත හැකි විය.