සමුද්‍රීය ආර්ථික විභවය ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඊයේ (12) සහභාගී වූ අවස්ථාවේදීය.
එසේම මෙම ව්‍යාපෘතිය යටතේ ගාලු වරායට යාබදව ඇති ධීවර වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම නගරයේ ඇති පුරාවිද්‍යා වටිනාකම් ඇති ප්‍රදේශ සහ ඒ ආශ්‍රිතව ඇති අනෙකුත් ස්ථාන සංචාරක ආකර්ෂණයන් ඇතිවන පරිදි සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෘජු හා වක්‍ර ආදායම් මාර්ග රැසක් මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා උත්පාදනය වන බැවින් ජනතතාවගේ ආදායම් තත්වය ඉහළ යන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මඟී ජැටියක් ඉදිකිරීමට නියමිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ ආශ්‍රිත රේගු ආගමන විගමන පහසුකම් ද වැඩිදියණු කිරීම මෙන්ම සියලුම පහසුකම් සහිත වෙරළ තීරයක්ද ඉදිකිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත්ව තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම වරාය සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේදී ඇතිවන ගැටලු සහ අගතියට පත්වන පාර්ශ්ව සමඟ ඉදිරියේදී සාකච්ඡා කෙරෙන අතර ඒවාට අදාළව විකල්ප යෝජනා ද කමිටුව හරහා ලබාදෙන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
ඉදිකිරීමට යෝජිත දියකඩනය හේතුවෙන් ධීවර වරායේ කටයුතුවලට පහසුවක් වන බවත් වරාය ආශ්‍රිතව නාගරික කලාපයක් ඉදිකෙරෙන බවත් එම රැස්වීමට සහභාගී වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ ඝණක හේමචන්ද්‍ර මහතා පැවසීය.


