වසර 36කට පසුව මඩකලපුව රාමක්‍රිෂ්ණ මිෂන් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරයි

වසර 36කට පසුව මඩකලපුව රාමක්‍රිෂ්ණ මිෂන් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරයි
  • SocialShare:

හමුදා කඳවුරක් ලෙස භාවිත කිරීමට 1990 වර්ෂයේදී පවරා ගන්නා ලද මඩකලපුව රාමක්‍රිෂ්ණ මිෂන් පාසල් පරිශ්‍රය නැවත අධ්‍යයන කටයුතු සඳහා භාර දීමෙන් පසුව එහි ඉගැන්වීම් කටයුතු ඊයේ (10) ආරම්භ කෙරිණි.

මෙම පාසල 1962.07.23 දිනැති ගැසට් නිවේදනය මගින් රජයේ පාසලක් බවට පත් කර ඇති අතර 1978 වසරේ දී ඇති වූ සුළි කුණාටුවෙන් හානි වීමෙන් පසුව වර්තමාන ස්ථානයෙහි පිහිටුවා තිබේ. එහි අධ්‍යයන කටයුතු 1979 දී නැවත ආරම්භ කර ඇති අතර හමුදා කඳවුරක් ලෙස භාවිත කිරීමට පවරා ගන්නා විට 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වන ලද අතර, ආසන්න වශයෙන් සිසුන් 800 ක් පමණ අධ්‍යාපනය හදාරා ඇත.
හමුදාවට පවරා ගත් කාලය තුළ, පාසල තාවකාලිකව වන්දාරුමූලයි මධ්‍ය මහා විද්‍යාලය, දේවපුරම් ගජමුගන් විද්‍යාලය සහ පෞද්ගලික ඉඩම් කිහිපයක පවත්වා ඇත. පසුව, ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය සහ සහභාගීත්වයෙන්, මුරක්කොට්ටන්සේනයි ප්‍රධාන මාර්ගයේ ජලාශය අසල අක්කරයක පමණ ඉඩමක පාසල නැවත ස්ථාපිත කර තිබේ. නමුත් වර්තමානයේ, පාසල ගංවතුර ආපදාවට ලක් වීම හා අධ්‍යයන කටයුතු සඳහා ඉඩ කඩ මඳ වීම හේතුවෙන් ඉගැන්වීම් කාර්යයන් දැඩි දුෂ්කරතාවන්ට ලක් ව ඇත.
හමුදාව අත්පත් කරගෙන සිටි පාසල් පරිශ්‍රය, අධ්‍යාපන කටයුතු සඳහා 2025.09.30 දින නිල වශයෙන් නිදහස් කර තිබේ. මෙම ඉඩමේ මුළු වර්ග ප්‍රමාණය අක්කර 02 ක් වන අතර නිදහස් කරන ලද කොටසේ අඩි 100 x 20 ප්‍රමාණයේ ගොඩනැගිලි දෙකකින්, අඩි 110 x 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලකින් සහ අඩි 40 x 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලකින් සමන්විත වේ.‍
ඒ අනුව, ප්‍රාථමික අංශයේ පිරිමි ළමුන් 112 දෙනෙකු සහ ගැහැණු ළමයින් 84 දෙනෙකුගෙන් සමන්විත සිසුන් 196 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සමඟ 2026.02.10 දින මෙම පාසලට මාරු කරන ලද අතර නැවත අධ්‍යයන කාර්යයන් ආරම්භ විය.
පාසලේ 2025 නඩත්තු වැඩසටහන යටතේ පානීය ජල පහසුකම් ඇතුලු පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් වෙන් කර ඇති අතර දෙමාපියන්ගේ දායකත්වයෙන් පන්ති කාමර හතක් නැවත පින්තාරු කර ඇත. ඊට අමතරව, ප්‍රජා සහාය ඇතිව පාසලේ එක් පැත්තක මීටර් 140 ක මායිම් වැටක් ද ඉදිකර තිබේ.