ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා - විදේශ ඇමති

ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා - විදේශ ඇමති
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

චීන තානාපති චී චෙන්හොං (Qi Zhenhong) මහතා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කරන ලද 'අශ්ව වර්ෂය' උදාව නිමිත්තෙන් වූ චීන අලුත් අවුරුදු සුහද හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අලුත් අවුරුදු සුබපැතුම් එක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ වටිනා හවුල්කරුවෙකු ලෙස චීනය කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට චීනය ලබා දෙන දායකත්වය සහ සහයෝගීතාවය ද එහිදී අමාත්‍යවරයා ඇගයීමට ලක් කළේය.
එසේම ආර්ථික වර්ධනය සහ තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී, දෙරටේම අභිලාෂයන්ට අනුකූල වන පරිදි, විනිවිදභාවයෙන් යුත් සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් චීනය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.