78 වන ජාතික නිදහස් දින උත්සවය අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, “නිදහසේ ඉතාම වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපට ආර්ථික වශයෙන් මොනතරම් ප්‍රමාණයකින් නිදහසක් උදා කර ගත හැකිද යන සාධකය මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
78 වන ජාතික නිදහස් දින උලෙළ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
විශේෂයෙන් මෙවර නිදහස් දිනයේ අපේ ප්‍රධාන තේමා පාඨය වූයේ “ගොඩනඟමු ශ්‍රී ලංකා” යන්නයි. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය සහ නිදහස යන ප්‍රතිමූර්තින් මත යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එම යළි ගොඩනැඟීමේදී අපේ සාරය බවට පත් කර ගත යුත්තේ කුමක්ද? අපි ඉතා පෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදි මුතුන් මිත්තන් එම යුගයට ගැළපෙන ආකාරයට ඉතාමත් ඉහළ තාක්ෂණ දැනුමකින් හෙබි බව අපේ ඉතිහාසය පෙන්වා දෙනවා. අපි මහා පෞඪත්වයකට, ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්.
ඒ වගේම මෑත ඉතිහාසයේ අපි බැහැර කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම අත්පත් කරගත් සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමඟ තිබෙන ඓන්ද්‍රීය සබඳතායි. අපේ ජාතිය ගොඩනැගීමේදී නිදහස විසින් එක් කරනු ලැබ තිබෙන මහා සාරය මේ මහපොළව මත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ආර්ථිකය ගොඩනැඟීමයි. එය හුදු මාතෘ භූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවෙයි. අපේ මාතෘ භූමියේ, අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි.


