දේශය ගොඩනැඟීමේ මූලික පදනම වන්නේ ජනතාවාදී, කාර්යක්ෂම සහ විනයගරුක රාජ්‍ය සේවයක් ගොඩනැඟීම බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.
සැබෑ නිදහස යනු හුදෙක් පාලන බලය ලබා ගැනීම පමණක් නොව, ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම සහ සාමාජීය යුක්තිය ස්ථාපිත කිරීමයි. අද අප සමරන නිදහස අතීත ජයග්‍රහණයක් පමණක් නොව, හෙට දවස වෙනුවෙන් අප ඉටු කළයුතු වගකීමක් ලෙස සැලකිය යුතු ව තිබේ. මෙවර නිදහස් දින සැමරුම ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ යන තේමාව යටතේ පවත්වනු ලබන්නේ වත්මන් ජාතික අවශ්‍යතාව හඳුනා ගනිමිනි. නවෝත්පාදනය සහ තාක්ෂණය මත පදනම් වූ දියුණු ආර්ථිකයක් ගොඩනැඟීම විනිවිද භාවයකින් යුතු රාජ්‍ය පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, සමාජ සාධාරණත්වය සහ සංහිඳියාව රජයන දේශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රජය කැප වී සිටියි.
දේශය ගොඩනැඟීමේ මූලික පදනම වන්නේ ජනතාවාදී, කාර්යක්ෂම සහ විනයගරුක රාජ්‍ය සේවයක් ගොඩනැඟීමයි. දේශපාලන, ආගමික, සංස්කෘතික හෝ ජාති භේදයකින් තොරව රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට සියලු රාජ්‍ය සේවකයන් සහ දේශප්‍රේමී පුරවැසියන් එක්විය යුතු වේ.
අපගේ මාතෘ භූමිය ලොව හමුවේ බැබළෙන ස්වෛරී දේශයක් ලෙස ඔසවා තැබිය හැක්කේ සාමූහික ශක්තියෙන් පමණි. නිදහස වෙනුවෙන් දිවි පිදූ වීරයන්ට උපහාරයක් ලෙස, අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලු දෙනා එක්විය යුතු බව ඇමැතිවරයා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.


