“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ වසරකදී ඉදිකෙරෙන වැඩිම නිවාස ප්‍රමාණය මෙම වසරේදී

“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ වසරකදී ඉදිකෙරෙන වැඩිම නිවාස ප්‍රමාණය මෙම වසරේදී
  • SocialShare:

නිවාස නොමැති ජනතාව වෙනුවෙන් වසරකදී ඉදිකෙරෙන වැඩිම නිවාස සංඛ්‍යාව මෙම වසරේදී ඉදිකිරීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ ජාතික උත්සවය ඊයේ (28) අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ‘හෝල් දි ගෝල්’ ශාලාවේදී පැවැත්වුණු අතර එම උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය 2025 දෙසැම්බරි මාසයේ සිට නව නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙන උපරිම ආධාර මුදල රුපියල් මිලියන 1 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇතැයිද සඳහන් කළාය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාවය හඳුනාගත් ප්‍රතිලාභීන් 207 දෙනෙකු සඳහා චෙක්පත් බෙදා දීමද අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ 2026 වසරේදී ඉදිකිරීමට අපේක්ෂිත මුළු නිවාස සංඛ්‍යාව 1043ක් වන අතර, ඒ සඳහා වෙන් කර ඇති මුළු ප්‍රතිපාදන මුදල රුපියල් මිලියන 1034කි.

මෙය ඉකුත් 2025 වසරට සාපේක්ෂව තෙගුණයක ඉලක්කයක් වීම විශේෂත්වයකි.

මෙම ජාතික උත්සවයට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නලීන් හේවගේ මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.