තෛපොංගල් දිනය අදයි

 තෛපොංගල් දිනය අදයි
  • SocialShare:

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ.

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද මෙම තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරති.

සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයකි. එහිදී හිරු දෙවියන්ට පළමු අස්වැන්න පූජා කිරීම සිදුකරන අතර කෘෂිකර්මාන්තයට දායක වන සතුන්ට ගෞරව දැක්වීම ද මෙම උත්සවයේ අත්‍යවශ්‍ය චාරිත්‍රයක් වේ.

කිරි උතුරවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර, මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙසද සැලකේ.

තෛපොංගල් උත්සවයේ ප්‍රධාන වැඩසටහන අද (15) පස්වරු 2.00ට යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඒ සමඟ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායකර් කෝවිලේදී සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.