වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරනවා - රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරනවා - රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
  • SocialShare:

වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනාකරණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ වගකීමක් වන බැවින් මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ  රාජ්‍ය සේවක වෘත්තීය සමිති කීපයක් සමඟ ඊයේ අමාත්‍යංශයේ දී සිදු කරන ලද සාකච්ඡාවකදීය.

වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ඇති වන ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට 2026 අයවැය මගින් යෝජනා කෙරිණි. 

මෙලෙස පවතින ගැටලු  කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා මෙම කොමිසම පිහිටුවීම කඩිනම් කර ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය සේවක වෘත්තීය සමිතියි කිහිපයක් සිදු කරන ලද ඉල්ලීමක් අනුව ඊයේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලද්දේ අනෙක් වෘත්තීය සමිතිවල අදහස්වලට ද මෙවැනි සාකච්ඡා අවස්ථාවන් විවෘත වන බවත් 2026 අයවැය මගින්  ජනාධිපතිතුමා  මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ද මෙහි කඩිනම් අවශ්‍යතාව හඳුනාගෙන බවත් ය. විශේෂයෙන් ම පසුගිය ජනවාරි 05 දින ජනාධිපතිතුමා  අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී ද මෙම කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම්  කරන ලෙස දැනුම් දී ඇති බව ද පෙන්වා දෙන ලදී. 

ඒ අනුව ජනාධිපතිතුමා සමඟ සම්බන්ධ වෙමින් සමස්ත රාජ්‍ය සේවාවේ තිරසාර බව සඳහා මෙම කොමිසම ස්ථාපිත කිරීමට අවශ්‍ය මැදිහත් වීම අමාත්‍යංශය මගින් මේ වන විටත් සිදුකර ගෙන යන බවත් කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු සියලු ම රාජ්‍ය සේවකයින්ට සියලු ම වෘත්තීය සමිති සමිති වලට වාචිකව හෝ ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බවත්  මෙහිදී අමාත්‍ය අබයරත්න මහතා වැඩිදුරටත් බවත් සඳහන් කළේ ය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර යන මහත්වරුන් ද අදහස් දැක්වීය.   

මෙම අවස්ථාවට  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඔමාලි විමලරත්න, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටිය හ.