ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වත්මන් සෞඛ්‍ය සේවාව පැසසුමට ලක් කළේය.
මෙම හමුවේ දී පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වයට ලක් වූ රෝහල් පද්ධතිය පිළිබඳවත්, එම රෝහල් සහ සෞඛ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගන්නා ලද සාධනීය පියවර පිළිබඳවත් සාකච්ඡා කළ අතර, ආපදාවට ලක් වූ රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් හි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කරන ලදි.
එමෙන්ම මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන සහ භාවිතාවන් පිළිබඳව කරුණු ද මෙහිදී සාකච්ඡා කරන ලදි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය ආයතන තුළ මානව සම්පත ශක්තිමත් කිරිම සඳහා පසුගිය වසරේ රජය සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කළ බව ද පැවසීය.
එමෙන්ම එම වැඩපිලිවෙල ඉදිරියටත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මේ වනවිටත් සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය.
රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම මෙන්ම රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන තුල වසර ගණනාවක් තිස්සේ අතරමග නවතා දමා තිබූ ඉදිකිරීම් රැසක් ද නැවත ආරම්භ කරමින් මෙරට සෞඛ්‍ය සේවාව ක්‍රමාණුකූලව ගොඩනැංවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් මහකොමසාරිස්වරයාට පැවසීය.
ආපදා තත්ත්වයත් සමග මෙරටට අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබාදුන් බවත්, වත්මන් සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය පැසසීමට ලක් කරන බවත් මෙහිදී ප්‍රකාශ කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉදිරියටත් කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.


