දිඹුලාගල අරණ්‍ය සේනාසන ලෙන් විහාරවල සංරක්ෂණ කටයුතු කඩිනම් කෙරේ

දිඹුලාගල අරණ්‍ය සේනාසන ලෙන් විහාරවල සංරක්ෂණ කටයුතු කඩිනම් කෙරේ
  • SocialShare:

පොළොන්නරුව, දිඹුලාගල අරණ්‍ය සේනාසනය ආශ්‍රිත ඓතිහාසික ලෙන් විහාරවල හටගෙන ඇති ඉරි තැලීම් සහ ගරා වැටීම් සඳහා කඩිනමින් පිළියම් සකස් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා(03) එම විහාර පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමිනි.

පසුගිය ආපදා තත්ත්වයෙන් දිඹුලාගල අරණ්‍ය සේනාසන භූමියට එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් මෙම ඉරි තැලීම් සහ ගරා වැටීම් සිදුව තිබේ.

දිඹුලාගල අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි පුරාවිද්‍යත්මක වටිනාකම් සුරැකෙන අයුරින් මෙහි සංරක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා කටයුතු කිරීමට නියමිතය.

මෙම නිරීක්ෂණය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.